බ්‍රැන්ඩික්ස් සිදුකළ රුක් රෝපණ සත්කාරය

340

ජුනි මස 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී බ්‍රැන්ඩික්ස් සමාගම රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිවනරෝපණයක් කිරීමට කටයුතු කළේය.
 බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක මෙසේ පැළ 3,000 ක් සිටුවන ලදී. මෙම අවස්ථාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වන සංරක්ෂක, නිශාන්ත එදිරිසිංහ, UNDP වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය) – සම්පත් රණසිංහ සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක් වූහ.

 තම ව්‍යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්‍රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරන බවද, සෑම අවස්ථාවකදීම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්‍රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්‍රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථය බවද මෙහිදී අවධාරණය කෙරිණි.

බ්‍රැන්ඩික්ස් සිදුකළ රුක් රෝපණ සත්කාරය

 “මිහිතලයේ භෞමික ජෛව විවිධත්වය බොහෝ දුරට ආරක්ෂා වී පවතින්නේ වනාන්තර තුළයි. ඒවා තුළ වැවෙන ශාක, දේශගුණ විපර්යාස අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර, උසස් තත්ත්වයේ ජලය සපයමින්, ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය බොහෝ පරාග කාරක සඳහා වාසස්ථාන ලෙස ක්‍රියාකරනවා. ඒ අනුව, මානව වර්ගයාට අවශ්‍ය ආහාර සැපයීම සහ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම යනු එකිනෙක මත රඳා පවතින ඉලක්ක ලෙස පෙන්වා දීමට පුළුවන්.” බ්‍රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.

 මෙම ව්‍යාපෘතිය සඳහා ගායා නමැති පැළ භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනුර ජයවර්ධන මහතා පැවසුවේ මෙම ගස්වලින් වැටෙන අතු දර ලෙස බහුලව භාවිතා වන නිසා, එය අවට ජනතාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. “ශ්‍රී ලංකාවේ දැනට පවතින බලශක්ති ගැටලුව සහ ඉදිරියේදී ඇතිවනු ඇතැයි අනුමාන කෙරෙන ආහාර අර්බුදය වැනි ගැටලු නිසා, මෙය අතිශය කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා. එය අප කාගේත් පැවැත්මට අතිශයින් වැදගත් වේවි.” ජයවර්ධන මහතා පැවසී ය.

බ්‍රැන්ඩික්ස් සිදුකළ රුක් රෝපණ සත්කාරය

2019 වසරේදී බ්‍රැන්ඩික්ස් මඩකලපුව කර්මාන්තශාලාවට ලොව ප්‍රථම‘Net Zero Carbon’පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී බ්‍රැන්ඩික්ස් සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්‍රේණිය හිමිකරගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් විය. එය ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මහත් අභිමානයකි. පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්‍රදේශයේ ක්‍රියාවට නැංවූ වන වගා ව්‍යාපෘතිය ද ඒ අනුව සමාගම විසින් සිදුකරන ලද මිල කළ නොහැකි කටයුත්තකි.

 ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවලට නිෂ්පාදන සපයන ඇඟලුම් නිෂ්පාදකයකු වශයෙන්, තම ව්‍යාපාර කටයුතුවලට, පාර්ශ්වකරුවන්ට, ප්‍රජාවන්ට සහ මිහිකතට යහපත සැලසෙන ආකාරයට දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වන දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාවට නැංවීම අතිශයින් වැදගත් බවත්, බ්‍රැන්ඩික්ස් සමාගම ඒ සඳහා දක්වන දායකත්වය අගය කරන බවද වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු කාර්යමණ්ඩලය, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලය, රෝහල, පාසල් ගුරු මණ්ඩල හා සිසු-සිසුවියන්, පරිසරවේදීන් ඇතුළු පාරිසරික ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

ජගත් කණහැරආරච්චි,
රඹුක්කන – නිහාල් පුෂ්පකුමාර, කෑගල්ල – ඇම්. බී. පහළවත්ත, බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන.

advertistmentadvertistment
advertistmentadvertistment