බ්ලැක්ලිස්ට් සමාගමක් වෙනත් නමකින් බාල පිළිකා බෙහෙත් ගෙන්වන්න දත කයි

80

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ සැපයීම නිසා අසාදු ලේඛනගත කර තිබෙන සමාගමක් වෙනත් සමාගමක නමකින් එම ඖෂධ ගෙන්වීමට උත්සාහ කරන බවට වාර්තා වේ. මේ සඳහා දේශපාලන අධිකාරියේ සහ උසස් නිලධාරීන්ගේ ද සහාය ලැබෙන බවට චෝදනා එල්ලවී තිබේ.

පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන අතර අසාදු ලේඛනගත කර තිබෙන සමාගම ද වෙනත් නමකින් ටෙනඩරයට ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරාංචිමාර්ග පැවසීය.

නව සමාගමක නමින් ටෙන්ඩරයට ඉදිරිපත් වී ඇත්තේ අසාදු ලේඛනගත කර තිබෙන සමාගමට ගෙවීම් අත්හිටුවා ඇති රුපියල් මිලියන 500 ක මුදල නිදහස් කර ගැනීමට බවද එම ආරංචිමාර්ග පවසයි.

ජාත්‍යන්තර පළිගැනීමට ලක්ව තිබෙන ආයතනයක් විසින් ද මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම සමාගම සිදුකළ බව කියන අක්‍රමිකතා පිළිබඳ පිටු 100කට ආසන්න වාර්තාවක් එළිදක්වා ඇතැයි පැවසේ. එම සමාගම සිදු කළ විමර්ශනයේදී අසාදුගත ලේඛනගත කළ සමාගම සපයා තිබූ ඇතැම් ඖෂධ නිපදවූ සමාගම් පවා එවැනි ඖෂධ සැපයීමක් නොකළ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම ඉතා වැඩි මිලට ලබාගත් ඖෂධ අධික මිලට සැපයීම ඇතුළු චෝදනා රැසක් එම වාර්තාවේ සඳහන්ව තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් ටෙන්ඩරයට ඉදිරිපත් වූ නව සමාගම සතුව මෙරටට ගෙන්වීමට නියමිත නව ඖෂධය පවතින බවට ප්‍රකාශ කර තිබීමයි. එම සමාගම සතුව එම ඖෂධය තිබෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කළ යුතු බවත් එම ආරංචිමාර්ග කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment