බාධක මැද සජබ විරෝධයට මහ සෙනඟක්

469

පෝලිම් යුගයක් රටට උරුම කර තිබෙන ශාපලත් ජනතා ද්‍රෝහි ආණ්ඩුව ගෙදර යවා
උගතුන්ගෙන් දක්ෂයන්ගෙන් පිරි ආණ්ඩුවක් හදන්නට කැප වෙනවා

– විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස කොළඹ සජබ විරෝධතාවේදී කියයි

පෝලිම් යුගයක් ඇතිකර තිබෙන ශාපලත් ආණ්ඩුව ජනතා බලයෙන් පලවා හැර දක්ෂයින්ගෙන් උගතුන්ගෙන් පිරි ආණ්ඩුවක් බිහි කොට නව යුගයක් ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (16දා) පැවසීය.

ශාපලත් ආණ්ඩුවට එරෙහි ජනබලය නමින් සංවිධානය කර තිබූ ආණ්ඩු විරෝධී පාගමන අවසානයේදී කොළඹ ගෝල්ෆේස් වටරවුමේ දී විපක්ෂ නායකවරයා ඊට සම්බන්ධ වූ පිරිස අමතමින් සඳහන් කළේය.

බාධක මැද සජබ විරෝධයට මහ සෙනඟක්

සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා එම පක්ෂයේ කි‍්‍රයාකාරීන්, පාක්ෂිකයන් විශාල පිරිසක් ඊයේ (16දා) සවස තුන පමණ වනවිට කොළඹ මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට ට පැමිණ ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් කෑගැසුහ.

අනතුරුව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එම පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, හරින් ප‍්‍රනාන්දු, බුද්ධික පතිරණ. තිස්ස අත්තනායක, මුජිබර් රහුමාන් ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු රාශියක් ද එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග එක්වි පෙරමුණ ගනිමින් එම ස්ථානයේ සිට පිත්තල හන්දිය, ලිබර්ට් වටරවුම සිට කොල්ලූපිටිය දෙසට ගමන් කළහ.

සහන දියව් මේ ශාපය ඇති, වැඩ බැරි නම් ගෙදර යන්න, ආදී විවිධ සටන් පාඨ මෙන්ම ජනාධිපති ඇතුළු රාජපක්‍ෂවරුන්ට මෙන්ම ආණ්ඩුවට විරුද්ධව සටන් පාඨ කියමින් පුවරු ප‍්‍රදර්ශනය කරමින් පාගමනින් කොල්ලූපිටිය හන්දිය දෙසින් ගෝල් ෆේස් පිටිය දක්වා ගමන් අරඹන ලදි.

කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් කි‍්‍රයාත්මක කරනු ලැබූ විරෝධය පවත්වන නිශ්චිත ස්ථානයක් හෝ පාගමනක් සිදු කරන්නේද. පාගමන කුමන දිශාවට කුමන ස්ථානයකට ගමන් කරන්නේද යන්න එහි අවසානය වනතෙක් රහසක් වශයෙන් තබා ගැනීම විශේෂත්වයක් විය.

මෙම විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට පොලිසිය විසින් විවිධ අධිකරණ මගින් වාරණ තීන්දු ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් එම පක්‍ෂය එය රහසක් වශයෙන් තබා ගැනීමට කි‍්‍රයා කළේය.

මීට පෙර එම පක්‍ෂය දැනුම්දී සිටියේ කොළඹ හයිඞ් පිටියේදී රැුළියක් පවත්වන බවය. කෙසේ වෙතත් ඔවුහු එවැනි රැුළියක් පවත්වනවා වෙනුවට විරෝධතා පාගමන කි‍්‍රයාත්මක කරන ලදි. එම පාගමන අවසානයේදී වාහනයක් මතට නැඟී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කීය.

රට ගොඩනඟන්න අපි සූදානම්. ජනතා වගකීම් ගන්න, ජනතාවට ශක්තිය දෙන්න අපි සූදානම්. අපි අද දවසේ ජනතා දුක්කම්කටොලූ අභියෝග රැුසක් මැද්දේ මේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය බලපෑම් පරාජය කරලා දුකට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පාරට බැහැලා මේ රටේ ජනතාවත් සමග අත්වැල් බැඳගෙන තිබෙනවා.

බාධක මැද සජබ විරෝධයට මහ සෙනඟක්

අපි අද මා පෙළපාලිය පවත්වන්නේ මේ රටේ ජනතාව දුකින් මුදා ගැනීමටයි. මහ ඒකාධිපතිත්වයකට යන්න අපි ඉඩ තබන්නේ නෑ. කතා කරන්න, රැුස්වීමේ නිදහස මේ රටේ තිබිය යුතුයි. සෑම මතයකටම ගරු කළ යුතුයි. අපි සූදානම් ගරා වැටෙන ආර්ථිය, කඩා වැටෙන සමාජය ගොඩනඟලා මේ රටේ පොදු ජන ආණ්ඩුව බිහිකරන්න අපි සූදානම්.

මේ රටේ ඉතිහාසය හදිසි නීතිය දමා නිදහස නැති කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒත් අද කොවිඞ් වසංගතය මර්දනය කරන්න ගෙන ආ නීති රීති පාවිච්චි කරන්නේ විපක්‍ෂ මතය මර්දනය කරන්නයි. විධායක ජනාධිපති බලයත්, තුනෙන් දෙකේ බලයත් සහිත ආණ්ඩුව අද සමගි ජනබලවේගයට බයයි.

දැන් කොවිඞ් මර්දනය කරන්න නොවෙයි ආණ්ඩුව විපක්‍ෂය මර්දනය කරන්නයි හදන්නේ. පසුගිය කාලයේ විවිධ අය උද්ඝෝෂණ තිබුණා. ඒ අයට ඒ නිදහස තිබුණා. නමුත් සමගි ජනබලවේගයට එය අහිමි කරලා. ඒත් අපි කියන්න ඕනෑ අපේ හඬ යටපත් කරන්න බෑ. මම අහන්නේ නෑ දැන් සතුටුද කියලා. මේ රටේ සියලූ දෙනාගෙන් මම අහන්නේ දැන් සැපය ඇති නේද කියලා. හැත්තෑව, හැත්තෑ හත යුගය වගේ අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස්, තෙල්, භූමිතෙල්, කිරිපිටි, හාල්, සීනි පෝලීම් මේ රජය බිහි කරලා හමාරයි.

එදා 1967 දී මුල්ගල තියලා 1969 දී විවෘත කරපු තෙල් පිරිපහදුව අද වහලා. මොකක්ද හේතුව ඩොලර් නෑලූ. බොරතෙල් ගේන්න ඩොලර් නැති වුණාට පිරිපහදු කරපු ඉන්ධන ගේන්න මේ අයට ඩොලර් තිබෙනවා. මොකද ඒ සඳහා හදිසි මිලදී ගැනීම් කරලා මේ අයට දූෂණය, වංචාව සිදුකර ගන්න පිළිවන්. මේ රට වැටී තිබෙන මොහොතක ජන ජීවිත කඩා වැටී තිබෙන මොහොතක මේ රටේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් තිබෙන මොහොතක කොමිස් ගහලා තමාගේ බඩ වඩා ගන්නවා.

මම කියනවා නව දර්ශනයක්, නව වැඩපිළිවෙළක් තුළ වන්දිබට්ටයෝ නැතිව, වාසගම් බලන්නේ නැතිව, කුසලතාවයට, දක්‍ෂතාවයට තැන දීලා මේ රට ජනතාව දිනවන යුගය බිහි කරනවා. දුෂ්කරතා මධ්‍යයේ මෙතැනට සාමකාමීව එකතු වුණා වගේ සාමකාමීව, විනීතිව විසිරෙන්න ඕනෑ. මේ මව්බිම ගොඩනඟන්න, දූෂණයෙන් වංචාවෙන් තොර දක්‍ෂ පිරිසකගෙන් යුතු ආණ්ඩුවක් බිහිකරලා මේ රට ගොඩනඟනවා, ගොඩනඟනවාමයි.

අකිත පෙරේරා, ඡායා – නිශාන් එස් ප‍්‍රියන්ත, තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment