බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් තිදෙනා සිහිසුන් වෙති  

173

දැන් නුවරඑළිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ

බාබකියු උඳුනක් කාමරයක සීතලට තබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වී සිටිය දී නුවරඑළිය මහ රෝහලට ඊයේ (12 දා) ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය පැවසීය.

කුරුණෑගල මහව ප‍්‍රදේශයේ සිට 11 වැනිදා නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි 08 දෙනකු නුවරඑළිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වී ඇත.

එම පිරිස 11 වැනිදා රාත‍්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇත. එහිදී බාබකියු උඳුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන තිබේ. අලූයම 3 ට පමණ එම පිරිස සමග පැමිණි පුද්ගලයන් තිදෙනෙකු නුවරඑළිය ප‍්‍රදේශයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බාබකියුු උඳුන ඔවුන් නතර වී සිටි නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් ඇත.

එම කාමරයේ අවු 20 , 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු සිට ඇත. ඔවුන් ඊයේ (12) දින අලූයම අවදි නොවූ නිසා එම අනෙක් පිරිස ඒ පිළිබඳව සොයා බලා ඇත. එම තිදෙනා ඇඳ මත අවදි නොවී සිටි නිසා ඒ පිළිබඳව නිවසේ අයිතිකරු වෙත දැනුම් දීමෙන් පසු ප‍්‍රදේශවාසීන් 1990 ගිලන් රථය මගින් නුවරඑළිය රෝහලට ඔවුන් ඇතුළත් කර ඇත.

රෝහල් ගත කළ තිදෙනාගේ තත්ත්වය බරපතළ නිසා නුවරඑළිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසිය කියයි.
නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment