බාබර්ගේ පවුර බින්ද ශ්‍රී ලංකාව ගාල්ලේදී ජයපැන් බොයි

546

මඳ අඳුර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට එන්නට පෙර රටටත්, කණ්ඩායමටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ටත් අතිශය වැදගත් වූ ක්‍රිකට් ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා ගෙන ගිය ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නෝ දෙදෙනා පකිස්තානය පරදවා ලකුණු 246ක දැවැන්ත ජයග්‍රහණයක් ඊයේ (28දා) ශ්‍රී ලංකාවට ලබාදීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ සම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ වීරයා සම්මානය තවමත් ටෙස්ට් තරග 3කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරියට හිමි විය.

මෙම තරගයේ පකිස්තාන දෙවැනි ඉනිමේ යසීර් ෂාගේ කඩුල්ල දවා ගැනීමත් සමග 2022 වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාගේ වාර්තාවේ සම අයිතිකරු බවට එංගලන්තයේ ජැක් ලීච් සමග සමතැන් ගත් ඔහු පකිස්තාන් පළමු ඉනිමේදී කඩුලු 3ක් දවා ගත්තේය.

පකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ අබ්දුල්ලා ශෆික් දවා ගැනීම සඳහා විශිෂ්ට උඩ පන්දුවක් රැක ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පකිස්තාන ඉනිම අවසන් කිරීම සඳහා ද හතරේ සීමාව ආසන්නයේ සිට උඩ පන්දුවක් රැක ගනිමින් තම මංගල තරගය මෙන්ම ඊට තම හිස්වැසුම ලබාදුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ සියවන ටෙස්ට් තරගයට ද කදිම සිහිවටනයක් එක් කර ගත්තේය.

ලකුණු 508ක දැවැන්ත ජයග්‍රහණයක් හඹා යෑමට පිටියට බට පකිස්තාන කණ්ඩායමට අස්වැසිල්ලකට තිබුණේ නායක බාබර් අසාම්, ඉමාම් උල් හක්, මොහමඩ් රිස්වාන් සහ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පසුගිය දින කිහිපය පුරා හවස් වනවිට පතිත වූ මඳ අඳුර පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට බාධාවන් වූ එම වැට කඩොලු එකින් එක බිඳලමින් පමා නොවී අඳුරු වැටෙන්නට පෙර ලබාගත් එම ජයග්‍රහණයේ මහිමයෙන් නැවත වතාවක් ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ට උඩ පන්දු රැකීමක් හේතුවෙන් අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි මොහමඩ් රිස්වාන් නායක බාබර් අසාම් සමග එකතුව වරෙක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු හතරේ සීමාව කරා යවමින් ද තවත් වරෙක ඉතා සුපරීක්ෂාකාරිව ද පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට ගෙන යමින් සිටියහ.

එහෙත් ප්‍රභාත් ජයසූරිය විසින් යොමු කරන ලද පන්දුවක් නිදැල්ලේ හැරී මොහමඩ් රිස්වාන්ට සිදු වූයේ සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසන් ඉනිම ලකුණු 37කට සීමා කර ගැනීමටය.

පළමු තරගයේ ක්‍රීඩා කළ අසාර් අලී වෙනුවට මෙම තරගය සඳහා කැඳවා තිබූ ෆවාඩ් අලාම් නායක බාබර් අසාම් සමග ලකුණක් හුවමාරු කර ගැනීමට යෑමේදී සිදුවූ වරදකින් දුවද්දී දැවී යද්දී පකිස්තාන ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ලෙස දිස්විණි.

පකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස පළමු ඉනිමේ ලකුණු 62ක් ලබා සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ අගා සල්මන්ට එල්ල කළ පහරක් සිය දකුණු පසට පැන එල්ලී රැක ගත් කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම සල්මන්ගේ දෙවැනි ඉනිමේ නිමාව සටහන් කළේය.

ඔහුගේ දැවී යෑමත් සමඟ දිවා විවේකය සඳහා තරගය නතර කරන ලද අතර ඒ වනවිටත් නායක බාබර් අසාම් එක් පසෙක පවුරක් ලෙස සිය අන්තය ආරක්ෂා කර ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. එහෙත් මෙම තරගාවලිය පුරාම බාබර් අසාම්ගේ කඩුල්ලේ පරම උරුමකරුවා වූ ප්‍රභාත් ජයසූරිය 4 වැනි වරටත් බාබර් දවා ගැනීමට සමත් වූයෙන් පකිස්තාන බලාපොරොත්තු සුණු විසුණු වී ගියේය.

බාබර්ගේ පවුර බින්ද ශ්‍රී ලංකාව ගාල්ලේදී ජයපැන් බොයි

පන්දු 146ක් පුරා ඇදී ගිය බාබර්ගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර ඒ අතරතුර ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වාට ආසන්න උඩ පන්දු අවස්ථා දෙකක් ද ලබාදී තිබිණි. එම අවස්ථාවන්ගෙන් බේරීමට නායක බාබර් වාසනාවන්ත වුව ද ජයසූරිය යොමු කළ පන්දුවෙන් කඩුල්ල මුවා කිරිමේ වරදින් ගැලවීමට තෙවන විනිසුරුගේ සහායෙන්වත් නොහැකි විය. බාබර් අසාම් ලකුණු 81කට දැවී යෑමෙන් පසු පිටියට එකතුව හිතු හිතු ලෙස පන්දු පහර එල්ල කළ යසීර් ෂා, නසීම් ෂා සහ හසන් අලීටත් අවශ්‍ය බෙහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනා සතු විණි.

තරගයේ වීරයා සම්මානය වැඩ බැලූ නායක ධනංජය ද සිල්වාට හිමි විය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment