බාබර්ගේ ශතකයෙන් පාකිස්තානය ගොඩයයි

202

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් ගාල්ලේදී ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනට ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියේය. ඒ නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17ක් සහ කසුන් රාජිත ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රඳී සිටිමිනි.

ඊයේ දිනයේදී පාකිස්තාන පළමු ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක බාබර් අසාම් සහ නසීම් ෂා විසින් දියත් කරන ලද වාර්තාගත ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 218ක් රැස් කිරීමට පාකිස්තානය සමත්විය. මුළු ලකුණු 148කට කඩුලු 9ක් දැවී තිබියදී පිටියේ එක් වූ බාබර් අසාම් සහ නසීම් ෂා එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් එක් කරමින් ශ්‍රී ලංකාව පළමු ඉනිම ආසන්නයට පාකිස්තාන පළමු ඉනිම රැගෙන ඒමට සමත්විය. එම ලකුණු සම්බන්ධතාවය ගාල්ල ජාත්‍යන්තර පිටියේදී ඕනෑම ටෙස්ට් තරගයක් වෙනුවෙන් කණ්ඩායමක් අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය.

බාබර්ගේ ශතකයෙන් පාකිස්තානය ගොඩයයි

පාකිස්තානය පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩක් තමන් සතුකර ගත් බාබර් අසාම් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 244කදී ලකුණු 119ක් රැස් කිරීමට සමත්වී සිටියේය. ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමගිනි.

නසීම් ෂා පන්දු 52කට මුහුණු දී ලකුණු 5ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

දෙවැනි දිනට ඊයේ තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් ලබා සිටියේය. දිනය ආරම්භ කරමින් යැවූ පළමු පන්දු වාරයෙන්ම අසාර් අලී දවා ගනිමින් කඩුලු දඩයම ඇරැඹූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දෙවැනි දිනයේ දිවා භෝජනයට තරගය නතර කරන විටදී මුළු ලකුණු 104කට පාකිස්තාන කණ්ඩායමේ පිතිකරුවෝ 7 දෙනකු නැවත ක්‍රීඩාගාරයට යැවීමට සමත්වී සිටියේය.

පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත්විය. සිය දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ජයසූරිය ඉනිමකදී කඩුලු 5කට වැඩියෙන් දවා ගත් තෙවැනි අවස්ථාව ලෙසින් එය සටහන් වෙද්දී එවැනි දස්කමක් කළ ලොව 8 වැනි පන්දු යවන්නා ලෙසින් ජයසූරිය වාර්තා අතරට එක් විය.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙසින් සඳහන් කරෙන ගාලු තණතීරවේදී තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පිති ප්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. ඒ අනුව තීරණාත්මක පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණ විලාශය හේතුවෙන් පළමු දිනයේ තේ පානයෙන් අනතුරුව මුළු ලකුණු 222කට ශ්‍රී ලංකා පළමු ඉනිමේ සියලු පිතිකරුවෝ දැවී ගියහ.

බාබර්ගේ ශතකයෙන් පාකිස්තානය ගොඩයයි

ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් එවැනිම ඉනිමක් පාකිස්තානයට එරෙහිවද ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 76ක් රැස් කිරීමට සමත්විය. දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවේ පාකිස්තාන වේග පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පිළිවෙලින් නැවත ක්‍රීඩාගාරයට හැරී යද්දී එක් අන්තයක් රැක ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ඔසවා තැබූ චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 22 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වෙද්දී එම ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ හොඳම ලකුණු සම්බන්ධතා දෙක 9 වැනි සහ 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ අතර එහිදී දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්ෂණ 8 වැනි කඩුල්ලට ලකුණු 44ක් සහ මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත 10 වැනි කඩුල්ලට ලකුණු 45ක් එක් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

advertistmentadvertistment
advertistmentadvertistment