බාලවයස්කාරිය රවටා දූෂණය කළ නරුමයාට වසර 36 ක සිරදඬුවම්

162

ලක්‍ෂ 03 ක වන්දි සහ තිස්දාහක දඩත් ගෙවීමට නියෝග

වසර 12 කට පෙර 12 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකුට වසර 36 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රු. 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙරේදා (24 දා) නියම කෙරුණි.

මෙලෙස සිරදඬුවම්, දඩ හා වන්දි නියම කෙරුණේ ආචාරීගම, අගුණුකොළපැලැස්ස පදිංචි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටය.

චූදිත 2010 මාර්තු මස 01 දින 12 හැවිරිදි දැරියක රවටා අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්කර තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ මවට සැලවීමෙන් පසු සිද්ධිය පිළිබඳව දැරියගේ මව විසින් අඟුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිළි කර තිබේ. ඒ අනුව අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චූදිතට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ 2017.06.27 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව නඟා තිබූ චෝදනා 04 ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චූදිතට දඩුවම් නියම කෙරුණි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චූදිතට 1 හා 3 චෝදනාවන් සඳහා වසර 04 බැගින් වසර 08 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර අදාළ චෝදනා දෙක සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000 ක දඩයක් නියම කෙරුණි. එමෙන්ම 02 හා 04 චෝදනාවන් සඳහා වසර 14 බැගින් වසර 28ක සිර දඩුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සඳහා ද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඬුවමක්ද නියම කෙරුණි. මීට අමතරව අගතියට පත් දැරිය සදහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කළ අතර චූදිත එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. නීතිපති වරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා මහතා සහ රජයේ අධිනීතීඥ නිමන්ත ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment