බාල්දියක් නිසා ආයෙත් ගිනිගත් කන්දකාඩු

68

කන්දකාඩුව නැවත ගිනි ඇවිලුනි. මීට පෙර අවස්ථාවකදී මෙන් නොව මෙවර එය බරපතළ තත්ත්වයක් මතුකරන බවක් පෙනෙන්නට තිබිණි. ඉකුත් සතියේ මේ කතාවට මුල පිරුණේ බාල්දියක් නිසාය. කොටින්ම කීවොත් මෙවර බාල්දියක් නිසා කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බාල්දියක් පෙරළුනේය. ඒ ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවලින් මෑත කාලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි දෙපිරිසක් දියනෑමට ගිය අවස්ථාවේ බාල්දියක් බෙදාගැනීමට ගොස් ඇති වූ බහින් බස් වීම දුරදිග යෑමෙනි. ඒ හේතුවෙන් දරුණු ගැටුම්කාරී ස්වභාවයක් එහි ඇති ව තිබිණි.

එම සිදුවීමෙන් බොර දියේ මාළු බෑමට උත්සාහ ගත් පිරිස් අතරින් එකොළොස් දෙනෙක් මේ වන විටත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් තිබේ.

පුනරුත්ථාපන කඳවුරේ උණුසුම්කාරී ගැටුම ගින්නක් සේ ඇවිලී ගියේ නොවැම්බර් 6 වැනිදා රාත්‍රියේ ය. ගැටුම ඇති වී තිබුණේ දෙදෙනෙක් අතරය. එය සමථයට පත් කරන්නට එහි ගිය හමුදාවේ පිරිස එළවා දමන්නට රැඳවියන් උත්සාහ ගත් බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ආවේගශීලී ලෙස හා කෝපාවිෂ්ට ව හැසිරෙන රැඳවියන් අතරින් එක් පාර්ශ්වයක් හමුදා නිල ඇඳුම්වලටද හානි කොට කඳවුරේ වාහන හතරක් ඇතුළු රජයේ දේපළවලට දැඩි ලෙස හානි සිදුකර තිබිණි. එම ගැටුම් හේතුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් සිව්දෙනකු සහ යුද හමුදා සෙබළෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට සිදුව තිබිණි.

එපමණක් ද නොවේ රැඳවියන් දිගින් දිගටම පහරදීම හේතුවෙන් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට අයත් බස් රථයක් සෙසු වාහන හතරක් සහ රූපවාහිනි ශීතකරණ ඇඳන් මෙන්ම තවත් බඩු භාණ්ඩ රැසකට දැඩි අලාභානි සිදුව තිබිණි.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් ගණන 547 කි. මේ වන විට කඳවුර තුළ සිටින්නේ රැඳවියන් 287 ක් පමණි. පන්සිය හතළිස් හත් දෙනාගෙන් 225 දෙනකුම පොලිස් අත්අඩංගුවට පත්වුණේ අදාළ සිද්ධියට සම්බන්ධව කළහකාරී ලෙස හැසිරුණු නිසාය. 14 දෙනෙක් පුනරුත්ථාපනය අවසන් කොට කාලය නිම වීම හේතුවෙන් සේනපුරට පිටත්ව ගිය අය ය.

බාල්දියක් නිසා ආයෙත් ගිනිගත් කන්දකාඩු

රෝහල්ගතව සිටින පස් දෙනා හැරුණු කොට මේ වන විට ආගිය අතක් නැති රැඳවියන් ගණන 11 කි ඒ කන්දකාඩුවේ තරමය.

කන්දකාඩු ගැටුමේ දෙ පිරිසෙන් එක් කොටසකට කන්දකාඩු සිටිය නොහැකි බව පවසමින් සේනපුර ට යෑමට අවසර ඉල්ලා සිටියහ. ඒ සියල්ල සැලකිල්ලට ගෙන එක් කොටසක් සේනපුරට යැවීමට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියෙන් නිලධාරි මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් ඔවුහු සේනපුර ට ගිය පසුව නැවත කළහකාරී වාතාවරණයක් ඇති කොට සේනපුර තෘතීක අධ්‍යයන හා වෘත්තිය පුහුණු ආයතනයෙන් කළහකාරීව පිටව යෑමට තැත් කළහ.

ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකොට එහිදී ද විසිදෙනෙක් ගේට්ටුවෙන් පිටතට පැන ගොස් තිබූ බවත් ඉන් දහසය දෙනකු නැවත අල්ලාගෙන සේනපුර ට ගෙන ගොස් රඳවා තබා ඇති බවත් හතර දෙනකු පමණක් පැන ගොස් ඇති බවත් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාවක් කඩා දමා එහි ඇති අවි ගත් බවට රාවයක් පැතිර ගියේය. පුනරුත්ථාපන කඳවුරකට අවි ගබඩාවක් කුමටද යන්න කාගෙත් පැනය විය.

ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා කියා සිටියේ මෙය විශාල අවි ගබඩාවක් නොව ආරක්ෂාව උදෙසා කාලතුවක්කු රෙජිමේන්තුව පවත්වාගෙන යන ඔවුන්ගේ රාජකාරි වුවමනාවන් සඳහා ඇති අවි එහි ගබඩා කොට ඇති බවය. වාචිකව එය අවි ගබඩාව ලෙස නම් කළද විශාල අවි ගබඩාවක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව අධිකරණ නියෝග මත වසරක පුනරුත්ථාපන කාලසීමාවක් සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාසිකව රැඳවියෝ යොමු කරති. එම පිරිස් එහි මාස 6ක කාලයක් පුනරුත්ථාපනය වෙමින් තවත් මාස හයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී වෘත්තීය පුහුණුව ලබති.

බාල්දියක් නිසා ආයෙත් ගිනිගත් කන්දකාඩු

මෙවර සහ ඊට පෙර ද එම මධ්‍යස්ථානයේ ඇතිවූ කළහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව විශේෂ කාර්ය බළකාය ශ්‍රී ලංකා පොලිසිය මෙම ස්ථානයට කැඳවා තිබුණද ඔවුනට කඳවුරු තුළට යෑමට ඉඩ දී තිබුණේ නැත. ඒ නිසා තත්ත්වය පාලනය කිරීම හිතන තරම් පහසු දෙයක් නොවීය.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළහකාරී අයුරින් හැසිරෙන සිද්ධියේ අත්අඩංගුවට ගත් රැඳවියන් දෙසිය දෙනෙක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 17 වැනිදා තෙක් ඔවුහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නිර්මලා යටිගම්මන නියෝග කළාය.

එම රැඳවියන් පොලොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණවල රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි.

මෙවර කන්දකාඩු සහ සේනපුර ගැටුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට ද යොමුව ඇත. ඔහු වහාම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග සාකච්ඡාවක් සිදු කොට යළිත් එවැනි සිදුවීම් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කර තිබිණි.

ඒ අතර කන්දකාඩු ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත වහා ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වලින් ඉල්ලීම් කර තිබිණි.

අද වන විට තත්ත්වය සමථයකට පත්ව ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඉරිදා දිවයින සමග ප්‍රකාශ කළේය.

“හැම සිද්ධියකම දෙපැත්තක් තියෙනවා. එක දිගට ම වරින් වර පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ අසාමාන්‍ය ගැටුම් ඇතිවෙනවා. දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ පුද්ගලයන් මෙතැනින් පැනලා යන්න හදනවා. දැන් එකක් දෙකක් නෙවෙයි අවස්ථා හතරකදී මේ සිද්ධිය සිද්ධ වුණා.

බාල්දියක් නිසා ආයෙත් ගිනිගත් කන්දකාඩු

අපි ඒ ගැන ගැඹුරින් විමසා බැලිය යුතු වෙනවා. දැනට තොරතුරු අනාවරණය වී ඇති පරිදි අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් මෙල්ල කිරීම පහසු නෑ. එය රසායනික සංයෝගයක් සමග නිපදවූ මත්ද්‍රව්‍ය වර්ගයක්. මේවා භාවිත කරන පුද්ගලයන් ආවේගශීලී බවින් වැඩි ඔවුන්ගේ කේන්තිය පාලනය කරන්න කාලයක් යනවා නමුත් මේ අය සමග ගනුදෙනු කරන්න අපිට විවිධ ක්‍රමෝපායන් තියෙනවා පුනරුත්ථාපන කඳවුරක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මෙල්ල කරන තැනක් නෙවෙයි. දාහක් එක් දහස් පන්සීයක් පමණ පිරිසක් මෙල්ල කිරීම සඳහා අප ගෙන ඇති ක්‍රියාමාර්ග බොහොම සැලසුම්ගතයි.

මොකද මෙතනට එන්නේ රෝගීන්. ඔවුන් පාලනය කරනවා කියන්නේ පහසු කටයුත්තක් නෙමෙයි. අපිට හිතුන විදියට ගහල බැනලා මෙල්ල කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ.

රෝගීන් විදිහට ඇතුළට ගන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් අපි නැවත සමාජගත කරන්නේ යහපත් මිනිසුන් ලෙසයි.

මේ වගේ ගැටලුකාරී ගැටුම්කාරී තත්ත්වයක් යටතේ සිදුවීමක් වූ විට බොහොමයක් දින අපෙන් අහනවා යුද හමුදා පුහුණුව තියෙන කාර්ය මණ්ඩලයකට ඇයි දාහක් විතර මෙල්ල කරගන්න බැරි කියලා… පිට ඉඳන් බලනවා වගේ නෙමෙයි.. මේ මිනිස්සු මෙල්ල කරනවා කියන්නේ වෙඩි තියලා කඳුළු ගෑස් ගහලා ගුටි බැට දීලා මෙල්ල කරන්න පුළුවන් පිරිසක් නෙමෙයි මම කලින් කිව්වා වගේ මේ අය රෝගීන්. සිහියෙන් වැඩ නොකරන රෝගී පිරිසක් මෙල්ල කරනවයි කියන්නෙ ජීවිතයත් මරණයත් එක්ක සටනක් කරනවා වගේ වැඩක්.

දැනට තත්ත්වය සාමකාමී. අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් මේ මොහොතටත් ක්‍රියාත්මකයි. අපට ප්‍රබල සැකයක් තියෙනවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යෙදී සිටි පිරිස් පුනරුත්ථාපන කඳවුරෙන් පැන ගන්න ගත්ත උත්සාහයක් තමයි මේ කියලා….. ඒ සම්බන්ධයෙන් අපි පුළුල් පරීක්ෂණයක් පවත්වනවා. රටේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරමින් යහපත් මිනිස්සු ලෙස සමාජගත කරන්න අප්‍රමාණ වෙහෙසක් ගත්තත් රටේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගෙන්වීම හෝ තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නැහැ එවැනි පසුබිමක් තුළ මෙවැනි කඳවුරු වල සිදුවන සිදුවීම් අතිශය ශෝචනීයයි….”

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment