බාලිකා යූත් ක්‍රිකට්  තරගාවලිය අද  දඹුල්ලේදී ඇරැඹේ

161

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (06 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

ජාතික සංවර්ධන ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන මෙම පන්දු වාර විස්සයි – 20 තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් තරග වදිති. ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ ගාල්ල පිටත යන කණ්ඩායම් 6 ට ක්‍රීඩිකාවන් 78 දෙනකු තරග වදිනු ලබන අතර මෙම තරගාවලිය වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ පළාත් බාලිකා ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව වශයෙන්ද සනිටුහන් වේ.

දකුණු පළාත නියෝජනය කරමින් පාසල් වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමත්, ඒ හා සමාන දක්ෂතාවයෙන් යුතු ක්‍රීඩිකාවන් පසුවීමත් හේතුවෙන් දකුණු පළාත වෙනුවෙන් කණ්ඩායම් 2 ක් (ගාල්ල සහ ගාල්ල පිටත) තරග වැදීම විශේෂත්වයක් වේ.

අද ආරම්භ වන තරගාවලියේ අවසන් මහ තරගය ලබන 14 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 5 කට ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කුසලානයට අමතරව රුපියල් ලක්ෂ 3 ක්ද, අනුශූරතාව සඳහා ලක්ෂ 2 ක මුදලක්ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට රු.75,000 ක්, දක්ෂතම පිතිකාරිනිය සහ පන්දු යවන්නියට රු. 50,000 ක මුදලට අමතරව අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට රුපියල් 25,000 ක මුදලක් ද පිරරිනැමෙනු ඇත.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment