බාල වයස්කාර දියණියට අතවර කළ  නරුම පියා වසර 45 ක් හිරේ : දියණියට ලක්‍ෂ 12 ක් වන්දි ගෙවීමටත් නියෝග

297

හම්බන්තොටදී සිය බාලවයස්කාර දියණියට අතවර කළ තිදරු පියකුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000 ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්‍ෂ 12 ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ (27 දා) සවස නියෝග කළේය.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි තිදරු පියෙකුටය.

චූදිත පුද්ගලයා 2004.08.22 වැනිදා අවස්ථා ගණනාවකදීම සිය බාලවයස්කාර දියණිය බරපතළ ලෙස අතවරයට ලක්කර ඇති අතර දැරිය සිද්ධිය පිළිබඳව ඥාතිවරියකට දැනුම් දීමෙන් පසු සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 03 ක් යටතේ නඩු පවරන ලදි. ඒ අනුව නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ චූදිත විවෘත අධිකරණයේදී වරද පිළිගත්තේය.

ඒ අනුව චූදිතට එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුන සඳහා වසර 45 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය සමගාමීව ගෙවී යා යුතු බවට ද නියෝග කෙරුණි. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා තුන සඳහා රුපියල් 30,000 ක දඩ මුදලක් ද නියම කෙරුණි. චූදිත දඩ මුදල් නොගෙවන්නේ නම් එක් රුපියල් 10,000 ක දඩ මුදලක් සඳහා මාස හය බැගින් රුපියල් 30,000 සඳහා මාස 18 ක සිර දඬුවමක් ද නියම කෙරුණි.

මීට අමතරව අගතියට පත් චූදිතගේ දියණියට රුපියල් ලක්‍ෂ 12 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment