බැංකුවල ඩොලර් හිඟය නිසා දෙමාපියෝත් කළු කඬේ

713

පිටරටවල අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප‍්‍රමාණයක්වත් මෙරට බැංකුවලින් ගැනීමට නොහැකි තත්ත්වය යටතේ දහස් ගණනක් මාපියනට කළු කඩයෙන් අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
 
 විදේශගතව වසර කිහිපයක් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යායුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් 25,000 ක්වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
 උද්ගතව තිබෙන ආර්ථික අහේනිය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම පමණකැයි රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.
 
 එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග 29 වැනිදා පෙරවරුවේ පැවැති සාකච්ඡුාවේදීය.
 
 ‘‘ලබන වසරේ මුල ගෙවීමට ඇති ඩොලර් බිලියන 1.5ක මුදල පියවීමෙන් පසුව අවුරුද්දක් ඇතුළත ආණ්ඩුව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙතැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.
 
 සාර්ක් අරමුදලින් සහන වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 400ත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘කොවිඞ් 19’ වසංගතයෙන් පීඩාවට පත් සාමාජික රටවලට දෙන ඩොලර් මිලියන 800ත්, බංගලාදේශයෙන් ලැබෙන ඩොලර් බිලියන 200ත් හැරෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ලංකාවට කිසිදු ණයක් ගන්න හැකියාව නැතැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කීවේය. මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණොත් වෙනත් රටවල් ලංකාවට ණය දීමට ඉදිරිපත් වෙතැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
 චීනයෙන් බිලියන 1.5 ක මුදල හිමි වුවත් එය ලැබෙන්නේ යුවාන් වශයෙන් යැයි ද, ඉතිරි මිලියන 350 යෙදවිය හැක්කේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණකැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.
 
 සාර්ක් සංවිධානයෙන් ලැබෙන සහන ණය සහ මූල්‍ය අරමුදලේ සාමාජික මුදල ඉන්ධන වෙනුවෙන් වැය කිරීමෙන් පසුව රජයට මුදලක් ඉතුරු වන්නේ නැතැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
 ලබන වසරේ මුල ඩොලර් බිලියන 1.5 ක් බැඳුම්කර හා ණය වශයෙන් රජය ගෙවිය යුතුව ඇතත් ඒ මුදල සොයා ගැනීමට මෙරට බැංකු හරහා ද නොහැකි වන්නේ රාජ්‍ය බැංකුවලට ද බිලියන තුනක ණයක් ගෙවිය යුතුව තිබෙන හෙයින් යැයි ද එජාප නායකයා කීවේය.
 
 රජය මුහුණපා සිටින ආර්ථික අහේනිය හමුවේ ඇති එකම විකල්පය කෙටි කාලීන විසඳුම් පතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බව කී රනිල් වික‍්‍රමසිංහ මහතා දිගු කාලීනව ගත යුතු විසඳුම් කිහිපයකම ඇතැයි ද පැවසීය. රජය ප‍්‍රකාශ කරන ආකාරයට ස්වෛරී බැඳුම්කර මේ මොහොතේ ගත නොහැක්කේ බැංකු ද අධික ණය බරක ගිලී සිටින හෙයිනැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කීවේය.
 

– චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment