බැංකු කළමනාකරුයි සෙල්ටෙල් රවීයි ගිණුම්වලින් කෝටි පහළොවක් ඇදලා

2123

ඔබගේ ගිණුමත් අදම පරික්ෂා කරගන්න…

නොයෙල් සොයිසා මෙරට පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකි. ඔහු බැංකු සේවයට එකතු වූයේ දැනට දශක දෙකකට පමණ පෙරයි. බැංකු සේවකයෙකු වුවත් ඔහුගේ චරිතය ඒ තරම් හොඳ එකක් නොවිණි. මුදල් වලට දැඩි කෑදරකමක් දැක්වූ ඔහු ඒ වෙනුවෙන් ඕනෑම දහ ජරා වැඩක් කිරීමට පසුබට නොවුණි.

දැනට වසර කිහිපයක සිට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා තිබෙන පෞද්ගලික බැංකුවක ඔහු කළමනාකරු ලෙස සේවය කළේය. එ කාලය අතර තුර ඔහුට රවිචන්දන් නොහොත් ‘‘සෙල්ටෙල් රවී” යන පුද්ගලයෙකු මුණ ගැසුණි.

‘‘සෙල්ටෙල් රවී” යනු එසේ මෙසේ පුද්ගලකු නොව මෙරට සිටින අංක එකේ සංවිධානාත්මක මූල්‍ය වංචාකාරයෙකි. ව්‍යපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා කෝටි ගණන් මුදල් ඔහු වංචා කර තිබේ.

මාස කිහිපයකට ඉහතදී දෙදෙනා එක්තරා අවන්හලක් තුළ මත්පැන් පානය කරමින් මෙලෙස කතා බස් කළහ.

‘‘ඉතින් සොයිසා මොනවද අලූත් තොරතුරු.”

‘‘වරදක් නැහැ රවී. බැංකුවටම ගෙවිලා යනවා ජීවිතේ.”

‘‘ඉතින් ප‍්‍රශ්නයක් නැහැනේ. හොඳ සල්ලිනේ.”

‘‘මොන සල්ලිද අපිට. අනුන්ගේ සල්ලි දකිනවා විතරයි.”

‘‘අනුන්ගේ සල්ලි දැකලා හරියන්නේ නැහැ. තමන්ටත් කියලා කීයක් හරි හොයාගන්න.”

‘‘කොහොම හොයන්නද රවි. මාසේ පඩිය විතරයි.”

‘‘බොරු කියන්න එපා මැනේජර් කෙනෙක් වුණහම කස්ටමස්ලා ගෙන් සැලකිලි වැඩියි නේ.”

‘‘එහෙම පොඩි පොඩි ගණන් හම්බෙනවා. ඒත් අද තියෙන ආර්ථිකයත් එක්ක ඒවා ගෑවෙන්නවත් මදි.”

‘‘ඒක නම් ඇත්ත. නැද්ද ඉතිං අයිඩියා එකක් සල්ලි ටිකක් හොයන්න.”

‘‘දස අතේ කල්පනා කරනවා. කිසිම දෙයක් ඔළුවට එන්නෙ නැහැ.”

‘‘එහෙම කියන්න එපා. අද ජීවත්වෙන්න හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න ඕනා.”

‘‘ඒක නම් ඇත්ත. මමත් එකඟයි ඒ කතාවට. ඒත් කොහොමද එහෙම කරන්නේ.”

‘‘ඔයානෙ බැංකුවේ මැනේජර්. මොනව කරන්න බැරිද?.”

‘‘මම මැනේජර් කියලා බැංකුවේ සල්ලි ගෙදර අරන් යන්න ද කියන්නේ. ”

‘‘ඇයි අරන් යන්න බැරිද?”

‘‘අරන් යන්න නම් පුළුවන් හිරේ යන්න බලාගෙන.”

‘‘එහෙම කියන්න එපා. මොළේ පාවිච්චි කරලා වැඩක් කළොත් හොඳ ගේමක් ගහන්න පුළුවන්.”

‘‘ඒ කොහොමද?”

‘‘ඔයා කැමතිනම් සොයිසා කරන්න වැඩ ගොඩක් තියෙනවා.”

‘‘ඒ මොනවද රවී.”

‘‘කැමතිනම් කියන්නම්. නිකන් ඉඳලා අපිට කෝටිපතියෝ වෙන්න පුළුවන්.”

‘‘මම බයයි ඕවට.”

‘‘සත පහකට බය වෙන්න එපා. මට ඔය වගේ වැඩ හොඳට පුරුදුයි. ඒ වගේම ඔය වගේ වැඩ කරලා හොඳට සල්ලි හොයල තියෙනවා මම. කෝ අද වෙනතුරු ප‍්‍රශ්නයක් ආවද?”

‘‘අනේ මන්දා මට තේරෙන්නේ නැහැ.”

‘‘මට තේරෙන්නේ නැහැ කිය කිය ඔහොම ඉන්නද හදන්නේ.”

‘‘නැහැ ඇත්තටම මමත් කැමතියි සල්ලි ටිකක් හොයාගන්න.”

‘‘එහෙනම් බය වෙන්න එපා . අපි එකතුවෙලා පොඩි පොඩි වැඩ ටිකක් කරලා පටන් ගමු.”

‘‘දැන් කොහොමද ඕවා පටන් ගන්නෙ.”

‘‘කිසි දේකට බය වෙන්න එපා. කරන්න ඕන විදිහ මම කියන්නම්. ඔයාට තියෙන්නේ ඒ විදියට වැඩ කරන්න. ඊට පස්සේ අපි කෝටිපතියෝ.”

දෙදෙනාගේ කතාව පමණක් නොව මධුවිත පානයද එතනින් අවසන් නොවුණි. දෙදෙනා තවතවත් මධුවිත පානය කරමින් නීති විරෝධී ලෙස මුදල් උපයන ආකාරය ගැන කතා බස් කළහ. මුදල් වංචාකාරයකු වන සෙල්ටෙල් රවී එම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් හොර රහසේ මුදල් ලබා ගන්නා ආකාරය ගැන පැහැදිලි කර දුන්නේය. එම බැංකුවේ කළමනාකරුද විවිධ අදහස් ප‍්‍රකාශ කරමින් එයට එකඟ විය. පසුදින රාජකාරියට ගිය සොයිසා තම බැංකුවේ විශාල ලෙස මුදල් තැන්පත් කර ඇති ගිණුම්කරුවන්ගේ තොරතුරු සොයා බැලූවේය. ඒ සමඟම ඔහුගේ පෞද්ගලික තොරතුරු තම මිතුරා වන සෙල්ටෙල් රවීට ලබා දුන්නේය. ඒ අනුව දෙදෙනා තෝරාගත් ගනුදෙනුකරුවන් කිහිපදෙනකුගේ ගිණුම්වලින් ඉතා රහසිගත ලෙස මුදල් ලබා ගත්හ.

සතියක් ඇතුළත වංචා සහගත ලෙස ලක්ෂ 5කට ආසන්න මුදලක් ඔවුන් ගිණුම් හිමියන්ගෙන් ලබාගත්තේය. එලෙස ලබාගෙන සතියක් පමණ ගතවිය. කිසිදු ගැටලූවක් නොමැත. ඒ අනුව දෙදෙනා යළිත් අවන්හලක දී මුණ ගැසී මෙලෙස කතාබස් කළහ.

‘‘දැක්කනේ සොයිසා මම කියපු දේ.”

‘ඒකනෙ රවී කිසිම අවුලක් නැහැනේ. ඒත් බොරු කියන්න ඕනේ නැහැනේ. සල්ලි ගත්ත පළවෙනි දවස්වල මම ටිකක් බයෙන් හිටියේ.”

‘‘ඔයාට පිස්සු නේ. මම කිව්වනේ කිසි දේකට බයවෙන්න එපා කියලා.”

‘‘ඔව් ඔව් පස්සේ මට ඒක තේරුණා.”

‘‘මේ වැඩ වලට බය වෙන්න නරකයි.”

‘‘එකනම් ඇත්ත.”

‘‘මේ වගේ පොඩි ගණන් හොයල හරියන්නේ නැහැ දැන්.”

‘‘ඔව් ඒක තමයි මමත් කල්පනා කළේ.”

‘‘අපි ඊළඟට හොයන්න ඕනෙ කෝටි ගණන් වලින්. ඔයා මට ගිණුම් හිමියන්ගේ විස්තර දෙන්න. ගනුදෙනු වෙන ආකාරයේ ඉඳන් හැම එකක්ම කියන්න ඕනා. ඊට පස්සේ මම කියන්නම් කරන්න ඕන දේ.”

‘‘ඒ ගැන කිසි දේකට බයවෙන්න එපා. මම දැන් බැංකුවේ වැඩ වලට වඩා කරන්නේ ගනුදෙනු කරුවන්ගේ තොරතුරු හොයන එක.”

‘‘ඒකනෙ. සමහරු ලෝබ කමට සල්ලි පොදි ගහල තියනවා ගිණුම්වල. යනකොට අරගෙන යන්න වගේ. අන්න ඒ වගේ ගිණුම් වලින් තමයි අපි ගේම ගහන්න ඕනා.”

‘‘හරි රවී කිසි දෙයකට බය වෙන්න එපා. මම දෙන්නම් බැංකුවේ තියෙන සේරම විස්තර.”

එදින ඔවුන් කතිකාකර ගත්තේ සුළු පරිමාණයෙන් නොව මහ පරිමාණයෙන් මුදල් සොරා ගැනීමටයි. එ අනුව පසුදින සිට ඔවුන් දෙදෙනා එකතුවී එම බැංකුවේ ගිණුම් හිමියන්ගේ තොරතුරු සොයමින් එම

ගිණුම්වලින් මහා පරිමාණයෙන් මුදල් ලබා ගත්තේය.

මාස හයක කාලයක් තුළ ඔවුන් දෙදෙනා ගිණුම් හිමියන් 76 දෙනකුගෙන් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලක් සොරකම් කර තිබුණහ. ඒ ගිණුම් හිමියන් අතර ප‍්‍රබල ව්‍යාපාරිකයන් තිදෙනෙක්ද සිටියහ. එලෙස වංචනික ලෙස ලබාගත් මුදල්වලින් ඔවුන් දෙදෙනා ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කළහ.

එන්න එන්නම මෙම වංචනිකයන් දෙදෙනාගේ තණ්හාව තව තවත් වැඩි වන්නට පටන් ගත්හ. නීතියේ රැහැනට හසු නොවී වංචනික ලෙස මුදල් සෙවීමේ හොඳම ක‍්‍රමය මෙය ලෙස ඔවුන් සිතුවේය. ඒ අනුව තව තවත් ගිණුම් හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා කටයුතු කළේය.

ගනුදෙනුකරුවන් කිහිප දෙනෙක්ම නොසිතූ ලෙස තම ගිණුම්වලින් මුදල් අඩුවී ඇති බව දැන ගත්හ. ඔවුන් ඒ පිළිබඳව අදාළ බැංකුවෙන් විමසුවද නිසි පිළිතුරක් නොලැබුණි. අවසානයේ යම් පිරිසක් මෙම බැංකුවේ සිදුවන වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළේය.

ලද තොරතුරට අනුව එම නිලධාරීන් අදාළ බැංකු ශාඛාවට ගොස් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළේය. එම පරීක්ෂණවලට අනුව සැකපිට බැංකු කළමනාකරුව අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම් හමුවේදී මාස 6 ක පමණ කාලයක සිට මහපරිමාණ මූල්‍ය අපරාධ කරුවකු වන රවිචන්ද්‍රන් හෙවත් ”සෙල්ටෙල් රවී” සමඟ එකතුවී ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම් වලින් හොර රහසේ ලබාගත් කෝටි 15 කට ආසන්න මුදල් පිළිබඳ සියලූ තොරතුරු පැවසුවේය.

සැකකාර එම බැංකු කළමනාකරුගේ ප‍්‍රකාශවලට අනුව මහ පරිමාණ මූල්‍ය වංචාකරුවකු වන රවිචන්ද්‍රන් හෙවත් ”සෙල්ටෙල් රවී” වද එම පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී ඔහුව මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙවැනි සිද්ධි වර්තමානයේ පමණක් නොවේ අතීතයේද සිදුවිය. අනාගතයේද මෙවැනි දෑ සිදුවීමට පුළුවන. එමනිසා ඔබගේ බැංකු ගිණුම් පිළිබඳව නිරතුරැව අවධානයෙන් සිටින්න. තවද මහා පරිමාණයෙන් නොව සුළු පරිමාණයෙන්ද මෙවැනි දෑ සිදුවිය හැකිය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment