බැංකු ණය සහන ලැබෙන්නේ කෙලෙසද?

473

කොවිඩ් – 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබාදීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබාදීම සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අයකළ ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ. මෙම සහන සඳහා පුද්ගලික අංශයේ සේවකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ සංචාරක, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයන් ඇතුළත් විය. කෙසේ වෙතත්, කොවිඩ් – 19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබාදී තිබූ මෙම සහන කාලයන්ගේ අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ අතර සංචාරක අංශයට ලබාදුන් ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය. මේ අතර, ජාතික ආර්ථික වර්ධනයට දායක විය හැකි, ශක්‍යතාවයක් සහිත ව්‍යාපාර නැවත නගාසිටුවීම සඳහා කොවිඩ් – 19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ක්‍රියාකාරී සහ අක්‍රීය ණය ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන්ට සහාය වීමෙන්, ණය සහන කාලයන් ක්‍රමානුකූලව අවසන් කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු තුළ පශ්චාත් කොවිඩ් – 19 පුනර්ජීවන ඒකක පිහිටුවන ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්‍ෂේත්‍රයට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැපයීම දීර්ඝ කරන ලෙසට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින්, වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් සහ/හෝ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකූලව ලබාදෙනු ඇති අතර, එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශගත කර ඇත.

● සක්‍රීය ණය පහසුකම් සඳහා සහන: ණය ගැනුම්කරුවන්ට සුදුසු සහන (එනම්, මුල් ණය මුදල හෝ පොලිය සඳහා හෝ ඒ දෙකම සඳහා සහන කාලසීමාවක්, මුල් ණය මුදලෙන් හෝ පොලියෙන් කොටසක් සඳහා සහන කාලසීමාවක්, ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනත් යම් සහනයක්) මාස හයක කාලයක් සඳහා ලබාගත හැක.

● අක්‍රීය ණය පහසුකම් සඳහා සහන: ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින අක්‍රිය ගණයේ ණය පහසුකම් දීර්ඝ කාලයකට ප්‍රතිලේඛන ගත කිරීම සඳහා ඉල්ලුම් කළ හැකිය. තවද, 2020.01.01 දිනට පසු අක්‍රීය ලෙස වර්ගීකරණය කරන ලද ණය පහසුකම්වලට එරෙහිව ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස ද බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත කොන්දේසිවලට යටත්ව වැඩිදුර සහන ලබාදී ඇත.

කෙසේ වෙතත්, හිතාමතා ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති, වෙනත් අරමුණු සඳහා ණය මුදල් යොදවා ඇති මුදල් අවභාවිතය, වැරදි කළමනාකරණය සහ/හෝ වංචා නිසා සහ ශක්‍යතාවයකින් තොර ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම හේතුවෙන් ණය ආපසු ගෙවීමට අපොහොසත් වී ඇති ගනුදෙනුකරුවන් හට මෙම සහන ලබා ගැනීමට නොහැකි වනු ඇත.

● ණය ආපසු ගෙවීමේ සැලසුම්: සාමාන්‍ය වාරික ණය සඳහා නව වාරික මුදල දැනට පවතින ණයෙහි ගිවිසුම්ගත වාරික වටිනාකම නොඉක්මවිය යුතුය. වෙනත් ආකාරයේ ආපසු ගෙවීමේ ක්‍රම සහිත ණය පහසුකම් සම්බන්ධයෙන්, බලපත්‍රලාභී බැංකුව සහ ණය ගනුදෙනුකරු විසින් සුදුසු ණය ආපසු ගෙවීමේ සැලැස්මක් සඳහා අන්‍යොන්‍ය වශයෙන් එකඟ විය යුතු වේ.

● ණය සහන කාලසීමාව සහ ප්‍රමාණය සඳහා අදාළ වන පොලී අනුපාතිකය: රුපියල් ණය පහසුකම් සම්බන්ධයෙන්, ණය සහනයේ වටිනාකම සහ සහන කාලසීමාව මත අය කළ යුතු පොලී අනුපාතිකය, නවතම ගිවිසුම්ගත පොලී අනුපාතිකය (එනම්, විචල්‍ය පොලී අනුපාත මත පදනම් වූ ණය පහසුකම් සඳහා 2022.07.07 දිනට පවතින ආසන්නතම යළි මිල කළ (repriced) පොලී අනුපාතිකයද, ස්ථාවර පොලී අනුපාත මත පදනම් වූ ණය පහසුකම් සඳහා ණය පහසුකම ලබා ගත් අවස්ථාවේ ගිවිසුම්ගත පොලී අනුපාතිකය) හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් නිත්‍ය ණය පහසුකම් අනුපාතය (එනම්, 15.5%) යන දෙකෙන් ඉහළ අගය වේ. විදේශ මුදල් ණය පහසුකම් සඳහා වන පොලී අනුපාතිකය පිළිබඳව, බලපත්‍රලාභී බැංකුව සහ ණය ගනුදෙනුකරු විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ විය යුතු වේ.

● අමතර පිරිවැයකින් තොරව ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම: ණය ගැනුම්කරුවන් විසින් තම ණය පහසුකම් කලින් පියවීමට කරන ලද ඉල්ලීම්, එක් එක් සිද්ධිය අනුව සලකා බලා, කිසිදු අමතර ගාස්තුවක් අය කිරීමෙන් තොරව ණය කලින් පියවීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී. කල් බදු (leasing) පහසුකම් සම්බන්ධයෙන්, අනාගත පොලී අයකර ගැනීම ද කපා හැරිය යුතු වේ. ණය ගැනුම්කරුවන් විසින් එවැනි ඉල්ලීම් 2022.09.30 හෝ ඊට පෙර සිය බැංකුව වෙත යොමු කළ යුතු වේ.

● මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් විසින් නව ණය පහසුකම් සඳහා කෙරෙන ඉල්ලීම්, හුදෙක්ම, අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශය (CRIB) වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප නොකරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇත.

● සහන සඳහා අයැදුම් කිරීම: බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් විසින් ඉහත සහන සඳහා 2022.07.31 දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විiුත් ක්‍රම මගින් සිය බලපත්‍රලාභී බැංකු වෙත සිය ඉල්ලීම් යොමු කළ යුතු වේ. එකී ඉල්ලීම් සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකුවේ තීරණය, ඉල්ලීම ලැබුණු දින සිට මාසයක් ඇතුළත අයැදුම්කරුවන් වෙත නිසි පරිදි දැනුම් දෙනු ඇත. ප්‍රතික්ෂේපිත ඉල්ලීම් සම්බන්ධයෙන් ඒ සඳහා හේතු සහිතව බලපත්‍රලාභී බැංකුව විසින් අයැදුම්කරු වෙත දැනුම් දිය යුතු අතර, එහිදී ගනුදෙනුකරුට එවැනි ප්‍රතික්ෂේප කිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ගනුදෙනුකරුවන්ට ඇති වී ඇති පීඩනය අවම කිරීමට සහ වත්මන් ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් ආර්ථිකය යළි පණගැන්වීමට සහාය විය හැකි ව්‍යාපාරයන්ගේ තිරසාර පැවැත්ම තහවුරු කරනු පිණිස බලපත්‍රලාභී බැංකු සහ ණය ගනුදෙනුකරුවන් විසින් අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් යුතුව මෙම සහන ලබා ගැනීම/ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

බලපත්‍රලාභී බැංකුවල පශ්චාත් කොවිඩ් – 19 පුනර්ජීවන ඒකක පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ පිළිබඳ 2022 අංක 1 දරණ චක්‍රලේඛය සහ පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා සහන සැලසීම පිළිබඳ 2022 අංක 2 චක්‍රලේඛය මගින් සලසා ඇති සහන පිළිබඳ වැඩිදුර විස්තර පහත සබැඳි හරහා ලබාගත හැක.

https//www.cbsl.gov.lk/sites/defaulf/files/
cbslweb documents/laws/cdg/bsd circular no 1 of 2022 e.pdf

https:www.cbsl.gov.lk/sites/defaulf/files/cbslweb documents/laws/cdg/bsd circular no 2 of 2022 e.pdf

මහ බැංකුව මගින් නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරෙනි.

සකස් කළේ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment