බැංකු සේප්පුවේ තිබූ කෝටි 15 ක මැණික් ගෙනයන්න හදද්දී අලකලංචියක්

375

හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක තබා තිබූ රුපියල් කෝටි 15ක වටිනාකමකින් යුක්ත බව පැවසෙන මැණික් ගල් රැගෙන යෑමට එරෙහිව හැටන් වටවල ප්‍රදේශයේ පිරිසක් ඊයේ (04) එම බැංකු ශාඛාව ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් විරෝධය දැක්වූහ.

වටවල සමෘද්ධි ප්‍රජා මූල සමිතිය තවත් පාර්ශ්ව කිහිපයක් එක් කර ගනිමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන්ඔයේ වටවල මවුන්ට්ජින් වත්ත ප්‍රදේශයෙන් පරිසර හිතකාමි ලෙස නීත්‍යානුකූලව හැටන්ඔයේ තිබූ මැණික් ඉල්ලම් ගොඩගැනීමේ ව්‍යාපෘතිය වසරක කාලයක් සිදු කෙරිණ.

එම ව්‍යාපෘතියේ දී ගොඩගන්නා ලද මැණික් අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් 10% මුදලක් එම සමිතියටත්, 30% ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියටත්, එම ව්‍යාපෘතිය සිදු කළ වියදම් පාර්ශ්වයට 60% මුදලකුත් බෙදා යන සේ ගිවිසුම්ගතව මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණි.

එම ව්‍යාපෘතිය සිදු කරන සමයේ ගොඩ ගන්නා ලද ගෙවුඩ, පුෂ්පරාග සහ පින්ක් යන වටිනා මැණික් ගල් වසරක කාලයක් ආරක්ෂාව සඳහා හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තැබිණි.

එසේ ආරක්ෂිත සේප්පුවේ තිබූ මැණික් ගල් ප්‍රසිද්ධ වෙන්දේසියක අලෙවි කිරීමට ප්‍රථම එම මැණික් ගල්වල තක්සේරුවක් ලබා ගැනීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්, වටවල සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ නව නිලධාරි මණ්ඩලය සහ එම ව්‍යාපෘතියේ වියදම් පාර්ශ්වය විසින් 04 වැනිදා රත්නපුර නගරයේ පිහිටි මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි කාර්යාලයට රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ වටවල ප්‍රදේශවාසීහු පිරිසක් විනිවිද භාවයකින් තොරව වටවල ප්‍රදේශයෙන් ගොඩගත් මැණික් ගල් අලෙවි කිරීමට සූදානම් වන බවට චෝදනා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් විරෝධතාවයක නියැලුණහ.

විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය මැද්දේ හැටන් පොලිසියේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු ආරක්ෂා සහිත වාහනයක මැණික් ගල් රත්නපුර දක්වා රැගෙන ගියහ.

වටවල ප්‍රදේශවාසීන් දක්වන විරෝධය සම්බන්ධයෙන් අප එම ව්‍යාපෘතියේ වියදම් පාර්ශ්වය දැරූ සුරංග ජානක හඟරාපිටිය මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ එම ව්‍යාපෘතිය විනිවිද භාවයකින් යුතුව සිදුකළ බවත්, වටවල සමෘද්ධි ප්‍රජාමූල සමිතියේ එවකට ලේකම්වරිය වශයෙන් කටයුතු කළ කාන්තාවක එම සමිතිය විසින් පවත්වනු ලැබූ නිලවරණයකින් ඉවත් කිරීමෙන් පසු එම ව්‍යාපෘතියෙන් 5 % මුදලක් තමන්ට සහ වටවල ප්‍රදේශවාසීන්ට ලබා දෙන ලෙස බලකරමින් මෙසේ විරෝධතාවය දක්වන බවයි.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment