බැකෝවලින් වැඩකරන රත්නපුරේ පතල්  100 ක් වැහිලා…. එක යන්ත‍්‍රයකට දිනකට ඩීසල් ලීටර් 100 ක් ඕනෑ!

187

ඩීසල් හිගයෙන් පතල් කර්මාන්තයත් හාන්සියි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට රත්නපුර, ඇහැළියගොඩ සහ කිරිඇල්ල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන බැකෝ (ස්කැවේටර්) මැණික් පතල් 100 කට අධික ප‍්‍රමාණයක් නැවතී ඇතැයි එහි හිමිකරුවන් පවසති. මෙමගින් මැණික් අලෙවියෙන් ලැබෙන විදේශ විනිමයෙන් සියයට අසූවකට වඩා අඩුවක් සිදුව ඇතැයිද මැණික් ව්‍යාපාරිකයෝ පවසති.

බැකෝ මැණික් පතල් හිමිකරුවෙකු වන සරත් චන්ද්‍රසිරි පැවසුවේ, බැකෝ මගින් මැණික් ගැරීමේ බලපත‍්‍රයක් වසරක් සඳහා ලබා ගැනීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට රුපියල් ලක්ෂ 18 ට වැඩි මුදලක් ගෙවීමට සිදු වෙනවා. අනතුරුව මසකට වැඩ කළත් නොකළත් තවත් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන්න වෙනවා. ඇතිවී ඇති ඉන්ධන ගැටලුව නිසා දැන් මාස දෙකකට ආසන්න කාලයක් බැකෝ පතල් වහලා. දැනටමත් ගොඩගෙන ඇති මැණික් ඉල්ලම් කියුබ් දහස් ගණනක් සේදීමටවත් හැකියාවක් නෑ ඩීසල් ලබා ගැනීමට නොහැකි නිසා.

මේ වනවිට ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියෙන් බලපත‍්‍ර ලබාගෙන රත්නපුර දිස්ත‍්‍රික්කයේ බැකෝ මැණික් පතල් 175 ට අධික ප‍්‍රමාණයක් පවතිනවා. මෙම පතල්වල බැකෝ යන්ත‍්‍ර 300 කට අධික ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වෙනවා. මෙම එක බැකෝ යන්ත‍්‍රයක් දවසක් ක‍්‍රියාත්මක කිරීමට අඩුම තරමින් ඩීසල් ලීටර් 100 ක් අවශ්‍යයි. බැකෝ යන්ත‍්‍ර ඉන්ධනහල් වෙත රැුගෙන ගොස් ඩීසල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉන්ධනහල් වලින් බැරල්වලට ඩීසල් ලබා දෙන්නේ නැහැ. මේ පිළිබඳ වගකිව යුතු කිසිවෙකුගේ අවධානය මෙතෙක් යොමු වී නැහැ.

කිරිඇල්ල – ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment