බැඩ්මින්ටන් ගහපු චාමිකව සජීවීව ක්‍රිකට් පිටියේ දුටු අසල්වැසියා

345

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වාර්තා කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පැමිණ සිටින මාධ්‍යවේදීන් අතරින් වැඩිම පිරිසක් සිටින්නේ ඉන්දියාවෙන්. ඒ අතර සිටි එක් ඉන්දීය මාධ්‍යවේදියකු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී අප සමීපයේ අසුන් ගෙන සිටියා.

‘දන්නවද, ඔයාලගේ රටේ චාමික කරුණාරත්න මං හිතුවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙයි කියලා. ඔහුව මං මුලින්ම දකින කොට පොඩි දරුවෙක්. ඒ 2012 වසරේදී. එවර ශ්‍රී ලංකාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වාර්තා කිරීමට මං ඔයාලගේ රටට ගියා. ඒ අතරතුර මං නිලූක කරුණාරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට ගියා. නිලූක ඒ වෙලාවේ මට චාමිකව පෙන්නුවා. මේ අපේ පවුලේ බඩ පිස්සා. එයත් බැඩ්මින්ටන් තමයි ගහන්නේ.

නිලූකගේ අනෙක් සහෝදරයන්ද ප්‍රසිද්ධ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් නිසා මං හිතුවේ චාමිකත් බැඩ්මින්ටන් ක්‍රීඩා කරයි කියලා. නිලූකව මට ගොඩක් හිතට ඇල්ලුවේ 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී. එහිදී බැඩ්මින්ටන් කේවල අර්ධ අවසන් පුර්ව වටයට පිවිසීම සඳහා අපේ රටේ පරුපාලි කාශ්‍යප් නම් ක්‍රීඩකයා සමග නිලූක තරග වැදුණා. තරගය අපේ ක්‍රීඩකයා ජය ගත්තත් නිලූකගේ ක්‍රීඩා විලාශය ඉන්දියානුවන්ගේ සිත් ඇද ගත්තා. ඊට පසුව ලංකාවට ආවම මං ඔහුව හමු වුණා. එදා අයියත් එක්ක දුටු චාමිකව වසර 10කට පසුව අද තමයි මං සජීවීව දැක්කේ. එකල බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වෙන්නට ගිය චාමික අද ඔයාලගේ කණ්ඩායමට නැතිවම බැරි වෙලා. ඇත්තටම ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්..

එම ඉන්දියානු මාධ්‍යවේදියා චාමිකව දකින විට චාමිකගේ වයස අවුරුදු 16ක් වන්නට ඇති. දැන් චාමික වයස අවුරුදු 26ක් වන ජාත්‍යන්තරය පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම චාමිකත් සිය වැඩිමහල් සහෝදරයන් වන නිලූක, දිලූක සහ දිනූක මෙන්ම දක්ෂතා ඇති බැඩ්මින්ටන් ක්‍රීඩකයකු බව අප සමග සිටි ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් ඉන්දීය මාධ්‍යවේදීයාට විස්තර කළා. ඔවුන් අතරින් ද බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨයා වන නිලූක 2012, 2016 සහ 2020 වසරවල ඔලිම්පික් තරග සඳහා සහභාගි වුණා.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment