බැණුම් නොඇසූ වෙළෙඳ ඇමැතිවරයා ලලිත් ඇතුලත්මුදලි

1142

(හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 85 වෙනි ජන්ම දිනය නොවැම්බර් 26 වන දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

එක්දහස් නවසිය හැත්තෑ හතේ (1977) මහ මැතිවරණයේදී අභිනව ඡුන්ද කොට්ඨාසයක් වූ රත්මලාන අසුන ජයගෙන මැති සබයට පැමිණි ලලිත් ඇතුලත්මුදලි මහතාට පැවරුණේ 1970 -1977 යුගයේ පටන් ජනතාව පිළිකුල් කළ අමාත්‍යාංශයක් වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ඇමැති පදවියයි. පෝලිං යුගයක භාණ්ඩ හිඟකම්වලින් පෙළුණු ජනතාව දෑස් දල්වාගෙන බලා සිටියේ ඇඟට වස්ත‍්‍රයක් හා කුසට ආහාරයක් ලැබෙන තුරුය. එය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් උදා වූයේ රුපියල් 7.50 ක් වූ සීනි රාත්තල රුපියල් 3.50 ටත්, රුපියලක් වූ පාන් රාත්තල ශත 60 ක් කර අත්‍යවශ්‍ය සියලූම භාණ්ඩවල මිල පහළ දමා, කූපන් කාඞ්, ටෝකන් පත් ආදී භාණ්ඩ ගැනීමට තිබූ සියලූම බන්ධන සීමා අකුලා දමා පෝලිං යුගය නැත්තටම නැති කරමිනි. එහි ගෞරවය හිමි වූයේ ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයාටත්, වෙළෙඳ ඇමැති ධූරය හෙබවූ ලලිත් ඇතුලත්මුදලි මහතාටත්, මුදල් ඇමැතිවරයා වූ රොනී ද මැල් මහතාටත්ය.

වෙළෙඳ අමාත්‍යාංශය ජනතාව තලා පෙළන තැනක් නොව පාරිභෝගික ජනතාව සනසන තැනක් බවට දිනෙන් දින පත්වන්නට විය. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වෙළෙඳ ප‍්‍රතිපත්තියත් සමග මෙරට ආරම්භ වූ විවෘත ආර්ථිකය රටේ සංවර්ධනයේ නව ආරම්භයට පෙරගමන්කරුවා විය. එදා පැවැති විපක්ෂය විවෘත ආර්ථිකයට බරපතල ලෙස පහර ගැසුවේ රට විනාශ මුඛයට ඇද දැමූ බව කියමිනි. විදේශ වෙළෙඳපොළ සමග ලංකාව ලොව ප‍්‍රචලිත වූයේත්, ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සුලබ වූයේත් විවෘත ආර්ථිකය නිසාය. තමා බලයට පැමිණි විගස විවෘත ආර්ථිකය අකා මකා දමනවා යැයි පැවසූ එදා විපක්ෂය 1994 – 2015 දක්වා ගෙවී ගිය වසර 21 ක් ඔවුන්ගේ පාලන කාල තුළ විවෘත ආර්ථිකය පෝෂණය කළා විනා අකුලා දැමූවේ නැත. ලලිත් ඇතුලත්මුදලි මහතාට තිබුණේ එවන් ආර්ථික දැක්මකි.

ලලිත් ඇතුලත්මුදලි මහතා ගමේ තිබූ සතිපොළ ක‍්‍රමය මහපොළ ලෙස පරිවර්තනය කර පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග බද්ධ කර ගමේ පාසල් අත්‍යවශ්‍ය පහසුකම්වලින් පෝෂණය කරමින් නගරයේ තිබෙන බඩු භාණ්ඩ ගම්බදට ද හඳුන්වාදෙමින් එයින් ලැබෙන ආදායම් සරසවි අධ්‍යාපනයේ නියුතු අනාගතය භාර දරුවන්ගේ ඉදිරි ගමනට රුකුලක් වශයෙන් මහපොළ සරසවි ශිෂ්‍යත්ව ක‍්‍රමය හඳුන්වා දුන්නේ තමා සරසවි සිසුවකු ලෙස අධ්‍යාපනයේ යෙදෙන විට පැවැති ආර්ථික දුෂ්කරතා සිහියට නගා ගෙනය. ඔහු තමා ඇරඹූ කිසිදු යෝජනා ක‍්‍රමයකට තමාගේ නමවත් දේශපාලකයෙකුව සිටි එමෙන්ම හිටපු ඇමැතිවරයකු වූ තම පියාගේ නමවත් සම්බන්ධ කරගත්තේ නැත. මහජන දේපොළවලින් ගොඩනගන සංවර්ධන ව්‍යාපෘති තම නම ප‍්‍රචලිත කිරීමට යොදා ගැනීමට සිහිනෙන්වත් සිතුවේ නැත. තමාගේ කාර්ය මණ්ඩලය තුළ පවුලේ කිසිවෙකු සිටියේ නැත. රජයේ තනතුරු නිලතල බලතල ඥාතී සංග‍්‍රහයට යොදා ගැනීමට ඇතුලත්මුදලි සංකල්පයේ කිසිම ඉඩක් වෙන් වී නොතිබුණි.

ලලිත් ඇතුලත්මුදලි මහතා විවෘත ආර්ථිකය විග‍්‍රහ කළේ විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොව රටට අවශ්‍ය දේවල් පමණක් ගැනෙන විවෘත දොරටුවක් තිබෙන තැනක් ලෙසය. නිදහස් වෙළෙඳ කලාපය නමැති සංකල්පය ඉදිරිපත් කළේ ඇතුලත්මුදලි මහතා විසින් 1977 මැතිවරණය සමයේදීය. එහි ඇති අරුත්බර භාවය ඵල ප‍්‍රයෝජනය තුළ ජේ.ආර්. ජයවර්ධන මහතා නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් යන මැතිවරණ ප‍්‍රකාශනයට නිදහස් වෙළෙඳ කලාපය රජයේ ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇතුළත් කළේ හැඟීම්බරව ය. 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජය බාරගත්තේ ආර්ථික අගහිඟතාවයන්ගෙන් පෙළෙන රටක් බව වටහාගත් නව රජයේ නායකයෝ රට සංවර්ධනය කර ජන ජීවිතය නගා සිටුවීමට නව මං සොයන්නට විය. ඒ සඳහා විදේශ ආධාර සොයාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විය. ඇතුලත්මුදලි මහතා ඇමැතිවරයකු වශයෙන් නිල සංචාරයේ යෙදුණේ ප‍්‍රථම වරට චීනයට ය. නව රජය බලයට පත් වී මාස 3 කින් චීනය බලා පිටත් වූ ඇතුලත්මුදලි මහතා එහිදී ඇමරිකන් ඩොලර් කෝටි 600 ක වෙළෙඳ ගිවිසුම් දෙකක් ලංකාවට ලබා ගැනීමට කටයුතු කළේ නව ඇමැතිවරයකු ලෙස සිය දස්කම් රට හමුවේ ප‍්‍රදර්ශනය කරමිනි.

1977 වසරේ සිදු කළ නව රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමග නාවුක අමාත්‍යාංශය ද පැවරුණේ ඇතුලත්මුදලි මහතාටය. ඒ අනුව මෙතුමා වෙළෙඳ හා නාවුක ඇමැතිවරයා විය. නාවුක ඇමැති පදවිය ලැබෙන විට කොළඹ වරාය පැවතියේ ලෝකයේ වරායවල් අතර 138 වැනි ස්ථානයේය. 1979 වසරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටු වූ ඇතුලත්මුදලි මහතා එතෙක් වරායේ කම්කරුවන් වෙනුවෙන් ලබා දුන් දවසකට එක් වේලක් පිරිනැමීමේ ක‍්‍රමය වෙනස් කර තුන් වේලටම කෑම ලබා දීම ආරම්භ කළේ මානව හිතවාදී නායකයකු ලෙසය. ඇතුලත්මුදලි මහතා නාවුක ඇමැතිවරයා වනතුරු ලංකාවට කන්ටේනර් බහාලූම් ගොඩබෑවේ නැත. ඒ සඳහා වරාය තුළ ක‍්‍රමවේදයක් ද නොතිබුණි. ඒ අනුව වරායේ තිබූ එළිසබෙත් නැව් තටාකාංගනය කන්ටේනර් රැුගෙන එන නැව් සඳහා වෙන් කළේය. ඇතුලත්මුදලි ක‍්‍රියාත්මක කළ නාවුක සංවර්ධන ප‍්‍රතිපත්ති නිසා ලෝකයේ වරායවල් අතර 138 ස්ථානයේ තිබූ කොළඹ වරාය 22 වන ස්ථානයට පත් කළේ එතුමන් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙළේ ප‍්‍රතිපලයක් වශයෙනි.

බණ්ඩාරනායක මහතා මුල්ගල් තබා ඇරඹූ වරායේ ශ‍්‍රී සම්බුද්ධ චෛත්‍යය දශක ගණනාවක් යනතුරු මුල්ගලට පමණක් සීමා වී තිබුණි. ඇතුලත්මුදලි මහතා එම දාගැබේ වැඩ කටයුතු නැවතුණු තැන සිට යළි වැඩ අරඹා දාගැබ නිමාකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලවා කොත් වහන්සේ නිරාවරණය කළේ තමා තුළ තිබූ බෞද්ධකම ප‍්‍රදර්ශනය කරමිනි.

ජේ. ආර්. ජයවර්ධන පාලනය නිමා වීමත් සමග ඇරඹුණු ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි කිරීමට ලලිත් ඇතුලත්මුදලි මහතා එම වසරේ ජනාධිපතිවරණ වේදිකාවේ ප‍්‍රමුඛ පෙළේ කථිකයෙකු විය. පේ‍්‍රමදාස මහතා සමග තිබුණු පෞද්ගලික අමනාපකම් පසෙක දමා ඔහුගේ ජය පක්ෂයේ ජය ලෙස සලකා කටයුතු කළත් ඔහුට ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසා සිත් රිදුම් දීමක් විය. පසුගිය දිනක සති අග පුවත්පතකට සාකච්ඡුාවකට පැමිණෙන ඇතුලත්මුදලි මහතාගේ ලේකම්වරියක වූ ෂාමිලා පෙරේරා මහත්මිය පවසා තිබුණේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇතුලත්මුදලි මහතාට කිසිම උවමනාවක් නොතිබුණු බවය. ඔහු කුමන්ත‍්‍රණයකට බිලි වූ බව එතුමිය කරුණු ගෙනහැර දක්වා තිබුණි.

ඇතුලත්මුදලි මහතා පණ මෙන් ආදරය කළ එක්සත් ජාතික පක්ෂය ඔහුට අහිමි වූයේ රුදුරු කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිපලයක් වශයෙනි. දෙවනුව සිදු වූයේ ඔහුට ජීවිතය අහිමි වීම සහ රටට අවශ්‍යම නායකයෙක් දැයෙන් සමුගැන්වීමය. යළිත් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපී ගොස් අලූතින් ගොඩ නැගූ පක්ෂය ද, එම පක්ෂයේ සලකුණද එක්සත් ජාතික පක්ෂයේ නමට හා සලකුණට ආදේශයන් විය. එයින් පෙනී ගියේ ඔහු එක්සත් ජාතික පක්ෂයට තිබූ ලැදියාව හා ආදරයයි. ලලිත්, ගාමිණී දෙපළ පේ‍්‍රමදාසට එරෙහිව දෝෂාභියෝගයක කොටස්කරුවන් වන විට රනිල් වික‍්‍රමසිංහ වත්මන් එජාප නායකයා ඔවුනට පවසා තිබුණේ පක්ෂයට ද්‍රෝහී නොවී ඉවසාගෙන සිටින ලෙසය. ජනාධිපතිවරයාට එරෙහිව ගත් පියවර සුදුසු නොවන බව මේ අයට රනිල් වික‍්‍රමසිංහ මහතා පහදා දුන්නත් ඉන් පලක් නොවීම නිසා රටටත්, ඔවුන්ටත් සිදු වූ විපාක සුළුපටු නැත.

ඇතුලත්මුදලි මහතා සිටියා නම් අදට වසර 85 ක් සපිරෙනු ඇත. ඔහු පැතූ ලොව ගොඩනගන්නට ඔහුට හැකි වූවා නම් ලංකාවේ වංශකථාව ලියවෙනුයේ මේ අන්දමට වඩා හාත්පසින්ම වෙනස්වය. නමුත් බුදු දහමට අනුව සිතන දේ හා පතන දේද, පෙනෙන දේද ක්ෂණයෙන් වෙනස් වීම ධර්මතාවයක්ය. ඒ අනුව ඇතුලත්මුදලි මැතිතුමා අපි නොසිතූ විරූ ලෙසින් හදිසියේ දැයෙන් සමු ගත්තේ මෙරටේ ජීවත් වූ ප‍්‍රතාපවත් නායකයකු රටට අහිමි කරමිනි. එතුමාගේ 85 වන ජන්ම සමරුව සමරන මේ අවස්ථාවේත් ඇතුලත්මුදලි මහතාගේ උතුම් මෙහෙවර සිහිපත් කරමින් සමරනුයේ කෘතගුණ දන්නා ජාතියක් හා පක්ෂයක් ලෙසය.

වජිර අබේවර්ධන,
හිටපු අමාත්‍ය,
සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment