බැඳුම්කර සිද්ධිය පොදු දේපළ චෝදනාවලින් රවි ඇතුළු 11 ක් නිදහස්

336

මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළ විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පොදු දේපළ යටතේ පවතින චෝදනාවලින් විත්තිකරුවන් සියලූ දෙනා නිදහස් කිරීමට ඊයේ (04 වැනිදා) නියෝග කළේය.

විත්තියේ නීතිඥවරුන් විසින් පෙර නඩු දිනයේදී ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් විශේෂ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් එලෙස විත්තිකරුවන් නිදහස් කළහ.

එම නඩුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඞ් ඉරුසඞීන් යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එහිදී සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා හා සාමාජික විනිසුරු මංජුල තිලකරත්න මහතා එක්ව තීන්දුවක් නිකුත් කරමින් විත්තිකරුවන් පොදු දේපළ චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළ අතර සාමාජික විනිසුරු මොහොමඞ් ඉරුසඞීන් මහතා වෙනම තීන්දුවක් නිකුත් කරමින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා පවත්වාගෙන යා හැකි බවට තීන්දු කළේය.

ඒ අනුව බහුතර තීන්දුවකින් එකී අධි චෝදනාවලින් විත්තිකරුවෝ නිදහස් කරනු ලැබූහ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් අධිකරණයේ බහුතරය ලබාදුන් තීන්දුව අනුව ගන්නා ඉදිරි තීරණ සම්බන්ධයෙන් සලකා බැලීමට දින ලබාදෙන ලෙසට අධිකරණයෙන් දින ඉල්ලා සිටියාය.

රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වූ අතර පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විනිසුරු මඩුල්ල බහුතරය තීරණය කළ නිසා නීතිපතිවරයා පවරා තිබූ සෙසු චෝදනා පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවත් චෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමේ හැකියාවක් නීතිපතිවරයාට නොමැති බවත් අධිකරණයට පැවසීය.

2016 මාර්තු 29 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම මගින් පොදු දේපළ පනත හා ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් එකොළොස්දෙනකුට එරෙහිව අධිචෝදනා තිස්දෙකක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

මෙම නඩු ලබන මැයි 04 වැනිදා කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment