බැරිකේඩ් ලංකා

1647

කොළඹ නගරය ඉතා ශීඝ්‍ර ලෙස මාර්ග බාධකවලින් ශක්තිමත් වෙමින් පවතී. මේ නිසා වෙනදා ගිය හැතැප්මය වෙනුවට අද වන විට නගරය වටා හැතැප්ම 5 ක් පයින් හෝ වාහනයකින් ගොස් ගමනාන්තය වෙත ළඟා වීමට ජනතාවට සිදුවී තිබේ. ශ්‍රී ලංකාව පුරා තිස් අවුරුද්දක බැරියර් සංස්කෘතියක් තිබුණු රටකි. ප්‍රභාකරන් යුද්ධය පටන් ගැනීමෙන් පසු දිනෙන් දින රටේ බැරියර් වර්ධනය වීමට පටන් ගත්තේය. 83 ජූලි කලබලයෙන් පසු මේ බැරියර් සංඛ්‍යාව ඩබල් විය. එමතුදු නොව එතැන් පටන් විවිධාකරයේ යකඩ මාර්ග බාධක අප විසින් දක්නා ලදී. ඇතැම් මාර්ග බාධකවල උඩින් තියුණු උල් පේළියක් තිබිණ. කෙනෙක් මේ උලක පැටළුණේ නම් උල තැබුවා හා සමානය. ඇතැම් බැරියර්වල මූණතෙහි උල් තිබිණ. ඒවා වඩා භයානක ය. එවැන්නක පැටළුණේ නම් ඒ පැත්තෙන් ඇතුළු වන උල ඉතා පහසුවෙන් අනෙක් පැත්තෙන් පිට විය. යුද්ධයෙන් පසු බැරියර්වලින් කොටසක් ඉවත් කරන ලදී. ඉනුත් ස්වල්ප කලකට පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ බලයට පත්වූ අතර උල් සහිත මාර්ග බාධක, වෙනත් යකඩ බැරියර්, නිතර පාරවල්වල පෙනෙන්නට සිටි පොලිසිය සහ යුද හමුදාව සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. මෙය ඉතා පියකරු සහ සහනශීලී දැක්මකි. මෙයින් පසු කොවිඩ් 19 වසංගතය එනතුරු යකඩ මාර්ග බාධක නොදක්නා ලදී. අද වනවිට මුළු කොළඹම යකඩ බැරිකේඩ්වලින් ආරක්ෂා කරන ලද බලකොටුවක් බවට පත්වී තිබේ. මේ බැරිකේඩ් කා වෙනුවෙන්ද? මේ යකඩ ආරක්ෂාව කා වෙනුවෙන්ද? ඇඟේ ඇනුණොත් එහා පැත්තෙන් මතුවන මේ යකඩ උල් කා වෙනුවෙන්ද? මේ සියල්ලම ඇත්තේ පවුලක ආරක්ෂාව වෙනුවෙනි. එසේම ස්වකීය පැවැත්ම උදෙසා ඒ පවුල සමග ඇලී සිටින කූට දේශපාලනඥයන් පිරිසක් වෙනුවෙනි.

දැනට කොළඹ ගාලු මුවදොර පිට්ටනියේ පවතින විරෝධතා ව්‍යාපාරයේ සංයුතිය දෙකයි පනහේ කබ්බන්ගේ නිර්මිතයක් නොවේ. එය උගත් ශිෂ්‍යයන්, විද්වතුන්, සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන් යනාදීන්ගෙන් සැදුම් ලත් දේ වෙයි. මෙතැන සිටින බහුතරය ගෝඨාභය බලයට ගෙන එනු පිණිස ඡන්දය දුන් අය වෙති. මෙතැන බුරියානි බෙදන බව ඇත්ත. ගංජා ගහන දාර්ශනිකයන් ද මෙහි අතරින් පතර සිටින බව ද ඇත්ත. මෙතන රැප් ගායකයෝ ද වෙති. ඒ අතර එතන විසිට් කිරීමට එන කබ්බෝද වෙති. විරෝධතාවට එන කබ්බන් සහ විරෝධතාව මෙහෙයවන උගතුන් යන දෙගොල්ල දුටු සැණින් හඳුනාගත හැකිය. කබ්බන් එන්නේ තොප්පි හා මාල දමාගෙන කුණුහරුප කියාගෙන අරක්කු බී ගෙනය. ඔවුන් මෙම ස්ථානය සලකන්නේ එන්ටර්ටේන්මන්ට් ස්පොට් එකක් ලෙසිනි. එහෙත් විරෝධතාව මෙහෙයවන උගතුන් පිරිස එවැනි ආකාරයට හැසිරෙන්නේ නැත. එම උගතුන් අතර සිටින ගංජාකාරයට පවා කිසියම් සංස්කෘතික පදනමක් ද එකී සංස්කෘතික පදනම තුළින් උපන් සංයමයක් ද ඇත. හැබැයි ආණ්ඩුව මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබේ. මේ කිසිම කෙනෙක් කිසිම විටක සදාකාලිකව මෙහි සිටීමට පැමිණි අය නොවෙති. ඔවුන් පුපුරා යෑමට කලින් කිසියම් විසඳුමක් ලැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු යැයි ජන හඬක් නැගී තිබේ. එහෙත් එක එකාට අවැසි පරිදි තමන් ඉවත් නොවන බව ඔහු කියා ඇත. ඔහු ඉවත්වනු දැකීම ප්‍රිය කරන්නේ ඔවුන්ටම ඡන්දය දුන් ජනතාව ය. එහෙත් රාජපක්ෂවරුන්ගේ ඇඟේ එල්ලී මැක්කන් මෙන් කාගෙන සිටින දේශපාලනඥයන් පිරිසක් ඔහු ඉවත්වනු දැකීමට නොකැමැත්තාහ. එයට හේතුව මහින්ද රාජපක්ෂ ඉවත් වුණොත් තමන්ට කෙළවෙන බව ඔවුන් දන්නා නිසාය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ යුද්ධය දිනූ දේශපාලන නායකයා ය. එහෙත් 2010 න් පසු ඔහුගේ නායකත්වය යටතේ පැවති ආණ්ඩුව අන්ත දූෂිත කක්කුස්සි වළක් වූ නිසා ඔහු පැරදවිය යුතු බව මේ රටේ ජනතාව තීරණය කළහ. එවැනි අවස්ථාවකදී මේ නායකයා රට බේරා දුන්නේය යන මතයෙන් ජනතාවට වැඩක් නැත. එතැන් සිට මිනිසුන් කල්පනා කරන්නේ මේ නායකයාගේ ගෝලයන් රට සුද්ද කරන අතර මේ නායකයා නිහඬව බලා සිටින්නේය යන කාරණය පමණි. ජනාධිපති මහින්දගේ දෙවැනි පාලන සමයේ තුන්වන කාර්තුව වන විට රටේ පාලනය ඉතා නරක ලෙස ඔහු අතින් ගිලිහී ගොස් තිබුණේ ය. ඔහු වෙනුවට රට පාලනය කළෝ ඔහුගේ ඥාති කැළය. ඒ වන විටත් රාජපක්ෂවරුන් සිය ගණනක් රටේ ප්‍රමුඛ තැන්වල ප්‍රමුඛ පුද්ගලයන් ලෙස කටයුතු කළහ. රටේ ප්‍රමුඛ දේවාල වැඩි ගණනක නිලමෙලා එක්කෝ රාජපක්ෂවරුන්ගේ ඥාතීහු වූහ. නොඑසේ නම් රාජපක්ෂවරුන්ට සපෝට් කරන අය වූහ. මේ කුණු චිත්‍රය ඒ ආකාරයෙන්ම දැක ගැනීමට මහින්ද රාජපක්ෂට ඒ දිනවල හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා 2015 දී ඔහු ජනාධිපතිවරණයෙන් පැරදිණ. ඉන් ස්වල්ප කලකට පසු මහින්ද සුළඟ ඇරඹෙයි. අද වන විට මහින්ද සුළඟ සම්පූර්ණයෙන්ම නැවතී තිබෙන අතර හාත්පස ඇත්තේ හුළං පොදක්වත් නැති ඉතා කටුක කාලගුණයකි. මේ ප්‍රශ්නය නිරාකරණය කර රටට උදව්වක් කරන ලෙස අපි රාජපක්ෂවරුන්ගෙන් නිතර ඉල්ලුවෙමු. අපි අද කරන්නේත් ඒ ඉල්ලීම ම ය. සමහරවිට ලබන මාසයේ මේ කාලයේදීත් මෙම ඉල්ලීම මෙසේම කිරීමට අපට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment