බැස්සට ගන්නත් බැරි තියෙන අයට වැඩකුත් නැති වාහන මිල

238

ඉදිරියට වාහන මිල තවත් අඩු වෙනවා…

මිල අඩුවීමෙන් වාහන වෙළෙඳ පොළ තවත් කඩා වැටෙනවා…

වාහන මිල අඩුවෙමින් තිබේ. පොඩි අඩුවීමක් නොව ශීඝ්‍ර පහළ බැසීමකි. රුපියල් ලක්‍ෂ තිස්එකට, තිස්දෙකට තිබුණු ඇල්ටෝ මෝටර් රථයේ නව මිල ලක්‍ෂ විසිහයට අඩුය. සෑම ලක්‍ෂ තිහකට ලක්‍ෂ හය, හතක්, දහයකින් වාහන මිල අඩු වී ඇති බව වාර්තා වේ. රුපියල් කෝටියකට මිල පැවැති වාහනයක අද වටිනාකම රුපියල් ලක්‍ෂ අසූවට අඩුය. පවතින වාහන මිල තවත් පහළ බසින බව ලැබෙන ආරංචි මාර්ගය.

“වාහන මිල ගොඩක්ම අඩුයි. ඒත් වාහන ගන්න මිනිස්සුන්ට සල්ලි කෝ… ගන්න පඩිය ගෙදර කෑමට, බීමටත් මදි. පාසල් යන ළමයි හතරදෙනෙක් ඉන්න පවුලක පාසල් උපකරණ, ඇඳුම් පැළඳුම් ටික මිලට ගන්න කීයක් යනවද? ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න වෛද්‍යවරයෙක් ළඟට, ඉස්පිරිතාලයකට ගිහාම වියදම් වෙන මුදල හිතාගන්න බෑ. ඒ වගේම වාහන අමතර කොටස්වල මිල ඉහළ
ගිහින් තියෙන විදිහ දකිනකොට වාහනයක් නඩත්තු කරනවට වඩා පහසුවෙන් අලියෙක් නඩත්තු කරන්න පුළුවන්. දැන් වාහනයක් පදිනවා කියන්නෙ ඔළුවට ලොකු බරක්. පවතින ආර්ථික යුද්ධය තුළ පණ කෙන්ද රැකගන්න මිනිස්සු අරගල කරනවා විනා වාහන සිහින දකින්න කැමැති නෑ…” ඒ පසුගිය දිනෙක දුම්රියේ ගමන් කරමින් සිටින අවස්ථාවක, වාහන මිල සහ පවතින ජීවන අරගලය සම්බන්ධයෙන් මිතුරු සමාජයක් ඇසුරින් ඇසුණු කතාවක සංශිප්තයකි. පවතින ආර්ථික අර්බුදය තුළ පවුලක් නඩත්තු කරගෙන, වාහනයක් නඩත්තු කිරීම විශාල අභියෝගයක් බව සැබෑය. එහෙත් ඒ බහුතරයක් වූ දිළිඳු සහ සමාන්‍ය ජනතාවට පමණි. ධනවත් මිනිසුන්ට වාහන මිල, වෙනත් භාණ්ඩ මිල වැඩිවීම අල්ප මාත්‍රයක හෝ ගැටලුවක් නොවේ.

“වාහන මිල අඩු වෙච්ච මාස කිහිපයට සේල් එකේ පොඩි වැඩිවීමක් තියෙනවා. ලීසිං පොලී අනුපාත වැඩි වුණත් මිනිස්සු වාහන ලීසිං ගන්න උනන්දු වන බවක් පේනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඉදිරියට වාහන මිල තවත් අඩු වෙනවා. වාහන මිල පුම්බලා තිබුණේ සේල්කාරයො. බිස්නස් එක ලොස් වෙනකොට ඒ අයම හිමින් සීරුවේ වාහන මිල අඩු කරනවා. ශීඝ්‍රයෙන් මිල පහළ බහිනකොට වාහන විකුණන්න අදහස් කරගෙන ඉන්න මිනිස්සු පවතින මිලටත් වඩා අඩු ගාණට විකුණනවා. මේක තමයි වෙන්න ඕනෑ. ලෝකයේ රටවල් සමග බලනකොට අපේ රටේ වාහන මිල ඉතාම වැඩියි. අපේ රටේ කාලකණ්ණි පාලකයෝ දරාගන්න බැරි බදු බරක් වාහන මත පටවලා තියෙනවා. ඒ වගේම මේ රටේ වාහන වෙළෙඳ පොළේ ලොකු මාෆියාවක් තියෙනවා. වාහනයක් මිලදී ගැනීමට වෙළෙඳ පොළට යන කෙනාව ස්කෑන් කර ඒ රිපෝට් එක අනුව තමයි වාහනයේ මිල නියම කරන්නේ. අලෙවිකරුවො වාහන අලෙවි කරන්න උත්සාහ කරන්නෙ උපරිම මිලෙනුත් එහා ලංසුවක ඉඳලා. ගැනුම්කරුවෝ සිහිබුද්ධියෙන් වෙළෙඳ පොළ හැසිරීම ගැන අවධානය යොමු කර ගනුදෙනු කරන්න ඕනෑ. එහෙම නොවෙන්න ඔහුටත් අලාභයක් කරගෙන සෙසු ගැනුම්කරුවන්ටත් අසාධාරණයක් කරනවා…” නම සඳහන් කිරීමට අකැමැති වූ මෙරට පිළිගත් ලීසිං ආයතනයක කළමනාකරුවෙක් පැවැසූ ඒ කතාවේ ගත යුතු දේ බොහෝය. ඕනෑම වෙළෙඳපොළක කළු කඩ වෙළෙඳාම කෙරේ. කළු කඩ වෙළෙඳුන්ගේ කූට ගැටවලට හසුනොවී ගනුදෙනු කිරීමට
පාරිභෝගික ජනතාව බුද්ධිමත් විය යුතුය. එමෙන්ම වාහන වෙළෙඳ පොළේ ආත්මාර්ථකාමී කූට ව්‍යාපාරිකයන් අතර සාධාරණ වෙළෙඳාමක් කරගෙන ගිය ව්‍යාපාරිකයන් ද සිටිති. එවැනි ව්‍යාපාරිකයන් බහුතරය මේ වනවිට වාහන වෙළෙඳාමෙන් සමුගෙනය. සංජීව පේමචන්ද්‍ර ද අකාලයේ වාහන ව්‍යාපාරයෙන් සමුගත් ව්‍යාපාරිකයෙකි. හේ වාහන අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇත්තේ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේය. එම වාහන අලෙවිසැල වසා දමා මේ වනවිට වසර දෙකකට වැඩිය. වාහන මිල අඩුවීම ගැන සංජීව අපට කීවේ මෙවැනි කතාවකි.

“මිල අඩුවීමෙන් වාහන වෙළෙඳ පොළ තවත් කඩා වැටෙනවා. මගේ හිතවත් වාහන ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්‍ෂ 207ට මිලදී ගත් වාහනය අලෙවි කළේ රුපියල් ලක්‍ෂ 147ට. ඒ වගේ ලොස්ට් එකට වාහන හතර, පහක් විකුණන්න වුණොත් සේල් එක ඉවරයි. ගෙවී ගිය මාස දෙක, තුනට සමහර වාහන ලක්‍ෂ විසිපහ, තිස් ගණන්වලින් අඩු වුණා. ඇක්වා කාර් එක ලක්‍ෂ තිහකින් විතර අඩු වෙලා. විට්ස් මෝටර් රථය රුපියල් ලක්‍ෂ 20ක් 22 කින් අඩු වෙලා තියෙනවා. වැගන්ආර් මෝටර් රථය රුපියල් ලක්‍ෂ 10 කින් විතර අඩු වෙලා. ලක්‍ෂ 250ට තිබුණු මෝටර් රථ රුපියල් ලක්‍ෂ 100කින් විතර අඩු වෙලා තියෙනවා. සියලුම වාහන මිල අඩු වෙලා. මේ වෙනකොට වාහන වෙළෙඳ පොළේ ස්ථාවර මිලක් නෑ. මිල තීරණය වෙන්නෙ ගැනුම්කරු සහ විකුණුකරුගේ හදිසිය මත. ඒ වගේම මිනිසුන්ගේ වාහන අවශ්‍යතාවත් විශාල වශයෙන් අඩු වෙලා. මේක භායනක තත්ත්වයක්. වාහන වෙළෙඳ පොළේ කඩාවැටීම නතර වෙන්න නම් බැංකු පොලී අනුපාත අඩු වෙන්න ඕනෑ. එහෙම වුණොත් බැංකුවල තියෙන ස්ථාවර තැන්පතු අරගෙන වාහන, ඉඩම්, ගෙවල් සහ වෙනත් ආයෝජනවලට යොමු වෙන්න මිනිස්සු පෙළඹෙනවා. බැංකු පොලී අනුපාත අඩු නොවෙන තාක් වාහන මිල පහළ බහිනවා. මේ වෙනකොටත් ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් වාහන වෙළෙඳ පොළෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර සේල් අයිතිකාරයෝ ණය ගෙවාගන්න බැරිව රටෙනුත් පලා ගිහින් ඉන්නවා. වාහන ආනයනය නතර කළ හැටියේ තිබුණු වාහන ටික විකුණලා සේල් එක වහලා දැම්ම නිසා මගේ ලොස්ට් එක ටිකක් අඩුයි. එහෙම නොවෙන්න මට වෙන්නෙත් ගොඩක්ම වාහන ව්‍යාපාරිකයන්ට වෙච්ච නස්පැත්තියම තමයි…” දුර බලා කටයුතු කළ බැවින් සංජීවගේ පාඩුව අවම වී ඇති බව සැබෑය. එහෙත් ආදායම් මාර්ග අහිමි වී ජීවන අරගලයක පැටලී සිටින බව ඔහු අපට කීවේ බිඳුණු ස්වරයෙනි.

පසුගිය 2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට වාහන ආනයනය නතර කිරීමත් සමග මෙරට වාහන වෙළෙඳ පොළ බින්දුවට ම වැටුණු බව සැබෑය. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය, පවතින ආර්ථික අර්බුදය වාහන වෙළෙඳ පොළේ කඩා වැටීම තවත් වේගවත් කළේය. ඒ ගැන සවිස්තරාත්මක විමසා බැලීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.

මේ පෙළගැසෙනුයේ වාහන මිල අඩුවීම සහ වාහන වෙළෙඳ පොළේ අනාගතය ගැන ඔහුට පෙනෙන හැටිය.

“වාහන ආනයනය නතර කිරීමත් සමග වෙළෙඳ පොළේ තිබුණු වාහන ශීඝ්‍රයෙන් විකිණුනා. අලුත් වාහන වෙළෙඳ පොළේ නැතිවීමත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් වාහන රැස් කිරීමට පටන්ගැනීමත්, වාහන ව්‍යාපාරිකයන් අතර තරඟයක් නිර්මාණය වීමත් තුළ අසාමාන්‍ය ලෙස වාහන මිල වැඩි වුණා. බැංකු පොලී අඩුවීම, ආර්ථික වියදම වැඩිවීම, වැඩි වැඩියෙන් මිනිසුන් විදේශ ගතවීමට පෙළඹවීම, මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට වාහන විකුණන තත්ත්වයට ජනතාව ආර්ථික ආහේනියට පත්වීම තුළ වෙළෙඳ පොළේ වාහන අලෙවිය පහත වැටුණා. දැන් වාහන මිලේ තරමක ස්ථාවර බවක් තියෙනවා. ඒත් ඉදිරිය ගැන අනාවැකි කියන්න අපහසුයි…”

‘වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි කර තියෙන්නෙ වාහන ආනයනකරුවන් කියා චෝදනාවක් තියෙනවා…?

“ඕනෑම ව්‍යාපාරිකයකුගේ ස්වභාවය වැඩි ලාභයක් ලබාගැනීම. ඒත් අපි කැමැති නෑ පාරිභෝගිකයන් මත විශාල බරක් පටවන්න. ඒ නිසා නිත්‍ය වාහන ආනයනකරුවන් මිල වැඩි කිරීමක් කරලා නෑ. වෙළෙඳ පොළට අලුතින් ඇවිත් ඉන්න අය තමයි මේ මිල වැඩි කිරීම් සිදු කර තියෙන්නෙ. වාහන ආනයනයට අවසර දුන්නත් ඒ පුද්ගලයන් එක්ක මේ ව්‍යාපාරය කරගෙන යෑමේදී ලොකු ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා රජය විසින් වාහන මිල සම්බන්ධයෙන් නියාමනයන් සිදු කරන්න ඕනෑ. ඒ වගේම අලුත් වාහන ආනයනයට අවසර ලැබුණොත් පරණ වාහන මිල තවත් පහළ වැටෙනවා. ඒත් වාහන ආනයනය සම්බන්ධයෙන් තවම පැහැදිලි අදහසක් නෑ. වාහන වෙළෙඳාමෙන් මෙරට රජයට විශාල බදු ආදායමක් ලැබුණා. දැන් ඒ බදු ආදායම සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. රජයටත් බදු ආදායමක් ලැබෙන ආකාරයට, වාහන වෙළෙඳ පොළත් ආරක්‍ෂා කරගැනීමට මෙරට බැංකුවල තියෙන ඩොලර් සංචිත පාවිච්චි නොකර වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් පැවැති රජයට අපි ඉදිරිපත් කළා. ඒත් හිටපු බලධාරීන් එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නෑ. අදාළ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුම ලබාගන්න මෙරට බලධාරීන් සහ නිලධාරීන් කැමැති නෑ. අපේ රට මෙච්චර ප්‍රපාතයකට ඇද වැටීමට ප්‍රධාන හේතුව ක්‍ෂේත්‍රීය දැනුම ලබානොගැනීම. සෑම ක්‍ෂේත්‍රයකම නිලධාරීන් වැඩ කරන්නෙ හැමදේම දන්න අය විදිහට. අපිත් රටට ආදරෙයි. අපේ වෙළෙඳාමට ආදරෙයි. අපිට ඕනෑ ඉක්මණින් මේ වෙළෙඳ පොළ යථාවත් කරගන්න. රටේ ආර්ථිකයටත්, පාරිභෝගිකයන්ටත් වාසි වෙන විදිහට මේ වෙළෙඳ පොළ පවත්වාගෙන යන්න. එහෙම නොවෙන්න අපිටත් වෙන්න මේ ව්‍යාපාරයෙන් ඈත් වෙන්න. දැනටත් වාහන වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන් 95% ක් පමණ ඉවත් වෙලා ඉන්නවා. 25% ක් පමණ වෙනත් රටවල ව්‍යාපාර ආරම්භ කර තියෙනවා. සමහර ව්‍යාපාරිකයෝ මෙරට ගෙවල් දොරවල්, වතුපිටි සේරම විකුණලා ගිහින් තියෙනවා. ඒ ව්‍යාපාරිකයන් නැවත මෙරට වාහන වෙළෙඳ පොළට එන්නෙ නෑ…”

“වාහන වෙළෙඳ පොළේ ගැටලුවට පමණක් නෙමෙයි උද්ගතව ඇති සියලු අර්බුදවලට විසඳුම් සෙවීමට ඒ, ඒ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් උසුලන, ජාත්‍යන්තරය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන උපදේශකවරු කණ්ඩායමක් අපේ රටට අවශ්‍යයි. විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි. එහෙම කළොත් මේ ගමන අමාරුවෙන් හරි ඉදිරියට යන්න පුළුවන්. නැති නම් මේ රට ලොකු අමාරුවකට වැටෙනවා…’ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් රජයට අනතුරු ඇඟවීමක් සිදු කළේය. එම කතාවට අවධානය යොමු කිරීම රජයේ වගකීමකි.

තමන්ගේම වාහනයකින් ගමනක්, බිමනක් යෑම ඕනෑම කෙනෙකුගේ සිහිනයකි. එහෙයින් මිල පහළ බැසීම වාහනයක් මිලදී ගැනීමට සිහින දකිමින් සිටින මිනිසුන්ට සුබ ආරංචියකි. එහෙත් වාහන මිලදී ගැනීමට කලබල නොවී ඉවසීම යහපතක් විනා අයහපතක් නොවන බව අපගේ අදහසය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment