බැසිල්ගේ අයවැය කෙටුම්පත පාර්ලිමේන්තුවට

182

ලබන 2022 වසරට අදාළ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම පිණිස විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරු 11.15ට පමණ ඉදිරිපත් කරනු ලැබීය.

එම විසර්ජන පනතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3කට අධික වේ. මුදල් ඇමැතිවරයා පනත ඉදිරිපත් කළ පසුව මහලේකම් ධම්මික දසනායක මහතා පනත කියවා විස්තර කළේය.

විසර්ජන පනත අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ රජයේ වියදම බිලියන 33කින් අඩුකර ඇත. 2022 වසරේ පොදු සේවාවන් වෙනුවෙන් රජය රුපියල් බිලියන 12.6ක් වෙන්කර ඇත.

පුනරාවර්ථන වියදම් සඳහා වෙන්කර ඇති මුදල බිලියන 1776 කි. ලබන වසරේ ජනාධිපතිවරයාගේ වියදම රුපියල් බිලියන 2.78ක් ලෙස දක්වා ඇති අතර එය මෙම වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 6.6කින් අඩු කිරීමකි. ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයටය. මෙම වසරේ එම අමාත්‍යාංශයට රුපියල් බිලියන 355ක් වෙන්කර ඇති අතර ලබන වසරේදී එය තවත් රුපියල් බිලියන 18කින් ඉහළ දමා ඇත්තේ බිලියන 373ක් වශයෙන් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 153.5ක් වෙන්කර ඇති අතර මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 250.1ක් වෙන් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 286.7ක් ද, අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 127.6ක් ද, මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 185.9ක් ද වශයෙන් මුදල් වෙන් කර ඇත.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන මංගල අයවැය නොවැම්බර්12 දා පස්වරුවේ ඉදිරිපත් කිරීමට ද නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment