බැසිල්ගේ මල්වානේ නඩුව තවදුරටත් පවත්වනවාද නැද්ද තීන්දුව ජුනි 3දා

206

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

දොම්පේ” මල්වාන” මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දහසයක් විශාල වූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධි චෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දුව ලබාදීම ජුනි මස 03 වෙනිදාට කල් තැබිණි.

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා හමුවේ ඊයේ (13 වෙනිදා ) එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම සඳහා ගම්පහ මහාධිකරණයේ දී නඩුව කැඳවූ අවස්ථාවෙන් අනතුරුව තීන්දුව ලබාදීම එසේ කල් තැබුණි.

පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන්හ.

දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේෂන් මහාධිකරණයට ඉදිරිපත් වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නියෝජනය මහාධිකරණය හමුවේ කීය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිසංකා ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියාය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කණ්ඩායම මහාධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩුවේ තීන්දුව ලබා දීම ජුනි මස 03 වෙනිදා ට කල් තැබීය. එදිනට (ජුනි මස 03) විත්තිකරුවන් දෙදෙනාව මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥයන් මහාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment