බැසිල්ගේ වැඩ ලක්‍ෂයේ ව්‍යාපෘතිවලට බිලියන 20 ක් ගෙවීම ප්‍රශ්නයක් වෙලා! විගණනයෙන් හෙළිවෙයි

183

‘අයවැයෙන් වැඩ ලක්‍ෂයක්’ යටතේ 2022 වසරේ ක්‍රියාත්මක කළ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කළත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ විවිධ කොන්ත්‍රාත් සමාගම් වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 25ක මුදලක් රජයට ගෙවාගත නොහැකි වී ඇතැයි රජයේ විගණනයේදී අනාවරණය වී තිබේ.

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් අයවැය යෝජනා යටතේ ‘වැඩ ලක්‍ෂයක්’ ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කළ අතර ඒ අනුව රටපුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336ක පිහිටි ග්‍රාම සේවා වසම් 14,021ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

ඒ ඒ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවල ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් එම ව්‍යාපෘතිවලින් සියයට 80ක් ම කිසිම ඵලදායී නොවන ව්‍යාපෘති බව විගණනයේ දී හෙළි වී ඇත.

ගම්වල ප්‍රජා සංවර්ධන සමිති, ගොවි සමිති ආදී සංවිධානවලින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ගම්වල කොන්ත්‍රාත්කරුවන් විසිනි. ඇතැම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ඒ වනවිට තාර දමා, කාපට් දමා තිබූ පාරවල්වලට දෙවන වරටත් තාර හෝ කාපට් දමා නිම කළ ව්‍යාපෘතිද විගණනයේ දී හමුවී ඇත. මීට අමතරව මාර්ගවල පැති බැමි බැඳීම්, ක්‍රීඩාපිටි සකස් කිරීම්, ප්‍රජාශාලා හා අතුරු මාර්ගවල ගල් ඇතිරීම් හා ඵලදායී හෝ කිසිම ආර්ථික, සමාජ සංවර්ධනයට හේතු නොවන ව්‍යාපෘති සඳහා ද මුදල් වැයකර ඇතැයි හෙළිවී ඇත.

2021 වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය මගින් ගත් තීරණ මෙන්ම චක්‍රලේඛ ද නොතකා මෙවැනි ප්‍රාග්ධන වැඩසටහන් වෙනුවෙන් හිටපු මුදල් ඇමැතිවරයා විසින් රුපියල් බිලියන 100ක මුදලක් වෙන්කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බවට විගණන නිලධාරීන් විසින් ඇතැම් විගණන විමසුම්වලදී සටහන් කර තිබේ.

රට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන මොහොතක මෙවැනි නිස්සාර, කිසිම ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීම වත්මන් මූල්‍ය අර්බුදයට දැඩි සේ බලපා ඇතැයි ද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment