බැසිල්ගේ සහන පැකේජය පොදුජන අසහනයට පිළියමක් ද

142
  • කොරෝනා බලපෑම්

අභියෝග රැසක් මැද තවත් නව වසරක් උදා වී තිබේ. අප දැනටමත් කොරෝනා වසංගතය සමග ඉතා පීඩාකාරී වසර දෙකක් ගත කර තිබේ. එහෙත් තවමත් කොරෝනා වසංගතය අවසන්ව නැත. මේ වන විට ඔමික්‍රෝන් නම් නව ප‍්‍රභේදය ද ලෝකයේ පැතිර යමින් ඇති අතර එය ලංකාවට ද පැමිණ තිබේ. එහෙත් කොරෝනාවට එරෙහි එන්නත්කරණය හමුවේ අප සැලකිය යුතු දුරකට ආසාදිතයන් වාර්තා වීම සහ මරණ ගණන අඩු කර ගැනීමට ද සමත්ව ඇත. එසේ වුවත් තවදුරටත් කොරෝනා වසංගතය අවසන්ව නැති නිසා අපට මේ වසරේ (2022) දී ද කොරෝනා වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම්වලට මුහුණදීමට සිදුවනු ඇත. එම අහිතකර තත්ත්වය පෙර වසර දෙක (2020 සහ 2021) තරම් ප‍්‍රබල නොවිය හැකිය. එහෙත් මේ සියල්ල තීරණය වනු ඇත්තේ තවදුරටත් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ අපගේ සාර්ථකත්වය සහ නව සාමාන්‍ය තත්ත්වයට අනුගතව කඩිනමින් අපගේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට අප දක්වන සමත්කම අනුවය. කෙසේ වෙතත් මේ වන විට කොරෝනා අහිතකර ආර්ථික බලපෑම්වලට අමතරව ආණ්ඩුව විසින් ගත් ඇතැම් ප‍්‍රායෝගික නොවන තීන්දු තීරණ නිසා ද අනවශ්‍ය ප‍්‍රශ්න රැසකට මුහුණ දීමට රටේ ජනයාට සිදුව ඇත. පසුගිය කාලයේ බඩු මිල ගණන් ද විශාල වශයෙන් වැඩි වී තිබේ. මේ සියල්ල හමුවේ මේ වන විට ජනයා විශාල පීඩනයකට පත්ව සිටී.

  • බදු අහිමි කර ගැනීම

මේ වන විට ජනයා මුහුණ දෙන මේ සියලූ ප‍්‍රශ්න කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇති වූ ඒවා නොවේ. මේ දිනවල රටම කතා කරන පොහොර ප‍්‍රශ්නය සහ ගෑස් ප‍්‍රශ්නය ගතහොත් ඒවා කොරෝනා වසංගතයට සම්බන්ධයක් නැත. එසේම මේ ආණ්ඩුව බලයට පත් වූ පසු කොරෝනා වසංගත තත්ත්වයට පෙරම විශාල බදු අඩු කිරීමක් කළේය. එනම් සියයට 15ට තිබූ වැට් බද්ද රජය විසින් සියයට 8 දක්වා සැලකිය යුතු ලෙස අඩු කළේය. ඒ සමගම බදු අය කෙරෙන උපරිම පිරිවැටුම් සීමාව ද වැඩි කරන ලද නිසා එම බදු අඩු කිරීමේ සහනය පාරිභෝගික ජනතාවට ද එලෙසම නොලැබිණි. මෙය කිසිවෙක් ඉල්ලා සිටි දෙයක් ද නොවීය. මේ බදු අඩුකිරීම හරහා රජය මුල සිටම රාජ්‍ය බදු ආදායමට හානි සිදු කර ගත්තේය. ඉන්පසුව රටට කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදු වූ නිසා ආර්ථික ක‍්‍රියාකාරකම් අඩපණ විය. ඒ නිසා තවදුරටත් බදු ආදායමට අහිතකර බලපෑම් සිදු විය. මෙසේ ආණ්ඩුවට ලැබෙන බදු ආදායම් සීමාවන අතරම රටට ලැබෙන විදේශ මුදල් ආදායම් ද විශාල වශයෙන් අඩු වී තිබේ. එහෙත් අපට ඒ සමගම විශාල ණය වගකීම් ද පියවීමට තිබෙන නිසා මේ වන විට අප විශාල විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ දී සිටී. මේ ඩොලර් හිඟය ද භාණ්ඩ මිල වැඩි වීමට, භාණ්ඩ හිඟ වීමට සහ භාණ්ඩ මිල දී ගැනීමට පෝලිම් ඇති වීමට ද බලපා තිබේ. මේ නිසා බොහෝ ජනයා මේ දිනවල සිටින්නේ ඉතා අසහනයෙනි. ආණ්ඩුව ජනයාගේ අසහනය, කෝපය තේරුම් ගෙන ඊට සංවේදීව ක‍්‍රියා කළ යුතුය. ඒ අතරම ගැසට් ගසා එක රැයෙන් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීමට ගත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණ නිසා දැනටමත් මේ රටේ කෘෂිකර්මයට මෙන්ම ගොවි ජනතාවට ද බලවත් අහිතකර බලපෑම් සිදුව තිබේ. දැන්වත් නම්‍යශීලීව, ඒවා සුදුසු පරිදි වෙනස් කරගෙන මේ හානිය අවම කරගැනීමට හෝ පියවර ගත යුතුව ඇත. එසේ නොකළහොත් සිදුවනු ඇත්තේ ජනතාව මුහුණ දෙන අසහනය සහ පීඩනය තවත් උග‍්‍ර වීමයි.

  • ආණ්ඩුවේ සහන පැකේජය

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා පසුගිය සඳුදා (03) රාත‍්‍රී මුදල් අමාත්‍යාංශයේ දී හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සහන මාලාවක් ප‍්‍රකාශයට පත් කළේය. එහි මුළු වටිනාකම රු. බිලියන 229 ක් බව ද ඔහු කීවේය. එනම් එම පිරිවැය කෝටි 22,900 කි. මේ සඳහා අලූත් බදු කිසිවක් නොපනවන බව ද ඔහු කීවේය. එහෙත් රජයේ ආදායම් ද අඩු නම් මේ වියදම් දැරීමට සිදු වනු ඇත්තේ අලූතින් මුදල් මුද්‍රණය කිරීමෙනි. එයද දැනටමත් හොඳටම වැඩි වී ඇති උද්ධමනය තවත් වැඩි වීමට හේතු වන්නකි. මුදල් ඇමැතිවරයා අදාළ සහන මාලාව ප‍්‍රකාශයට පත් කළ මාධ්‍ය හමුව ආරම්භයේ දීම කීවේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති දුෂ්කරතා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බවත් මේ නිසා දීර්ඝ කාලයක් එම දෙදෙනාම මුදල් අමාත්‍යාංශයට ඉතා ඉක්මනට ජනතාවට යම් යම් සහන ලබා දෙන්නට උත්සාහ කරන ලෙස දැනුම් දුන් බවයි. දැඩි වෙහෙසක් දරා යම් ආකාරයකට සහන සැලසීමට හැකි තත්ත්වයකට යම් කටයුත්තක් කිරීමට පුළුවන්කම ලැබී තිබෙන බවද මුදල් ඇමැතිවරයා කීවේය. කෙසේ හෝ ජනතාව බලවත් අසහනයට පත්ව සිටින බව තේරුම් ගෙන ඒ ගැන සංවේදීව මේ සහන ලබා දීමට කටයුතු කිරීම ගැන මුදල් ඇමතිවරයා ප‍්‍රමුඛ රජයට අප ස්තුති කළ යුතුව තිබේ.

  • අපේ ප‍්‍රශ්න තීව‍්‍ර වීම

කොවිඞ් උවදුරත් සමග හැම රටක්ම ඉතාම දුෂ්කර අවස්ථාවක සිටින බවත් ශ‍්‍රී ලංකාවට එය නොයෙක් ආකාරයෙන් තීව‍්‍ර වී දෙගුණයකින්, තුන් ගුණයකින් වැඩි වී බලපා තිබෙන බවත් මුදල් ඇමැතිවරයා සඳහන් කළේය. එය සත්‍යයකි. එහෙත් ඒ සඳහා ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය ද හේතු වී ඇත. පොහොර ප‍්‍රශ්නය ඒ සඳහා එක උදාහරණයක් පමණි. ඒ නිසා එළවළු පවා හිඟ වී ඒවායේ මිල ගණන් වැඩි වේ නම්, එසේම කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සහ තවත් විද්වතුන් පවසන පරිදි රටේ ආහාර හිඟයක් ඇති වෙනවා නම් ඒවා මේ ආණ්ඩුව විහින් ඇතිකරගත් ප‍්‍රශ්න මිස කොරෝනාවේ බලපෑම් නොවේ. ඒ නිසා කොරෝනා නිසා වෙනත් රටවල් මුහුණ දෙන ප‍්‍රශ්නවලට වැඩි අමාරු තත්ත්වයකට අපට මුහුණ දීමට සිදු වනු ඇත. අනිත් අතට වෙනත් රටවලට අපට වඩා විශාල වශයෙන් ඩොලර් සංචිත තිබේ. බංගලාදේශයෙන් පවා අපට විදේශ විනිමය හුවමාරු පහසුකමක් ගැනීමට වූයේ මේ නිසාය. මෙසේ අපට තිබෙන විදේශ සංචිත සීමා වීම සහ විශාල ණය පියවීමට තිබෙන තත්ත්වය තුළ අප මුහුණ දෙන ප‍්‍රශ්න තීව‍්‍ර වී තිබේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පවසන පරිදි අප විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් විශාල අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටී. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අප නොගන්නවා නම් අපට අපගේම වූ විදේශ විනිමය අරමුදල් සොයා ගැනීමේ සැලැස්මක් තිබිය යුතු වේ. ඒ සඳහා වන සැලැස්මක් 2021 ඔක්තෝබර් 01 වැනිදා මහ බැංකුව විසින් ඉදිරිපත් කළත් එහි සදහන් අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් එලෙසම සිදුව නැත. මේ හමුවේ අප මුහුණ දෙන ප‍්‍රශ්න තීව‍්‍ර වන බව පුදුමයට කරුණක් නොවේ.

  • සැබෑ ලෙස සහන සැලසීම

සැබෑ සහනයක් ජනයාට නම් සැලසීමට පොදුවේ ජනයාට සහන සැලසෙන පරිදි පියවර ගත යුතු වේ. එසේ නැතුව ලක්ෂ 14.5 ක පමණ වන රාජ්‍ය සේවකයාට අලූතින් දීමනාවක් ලබා දී මහජනයා මුහුණ දෙන අසහනයට පිළියම් ලබා දිය හැකි යැයි මුදල් ඇමැතිවරයා සිතනවා නම් එය මුලාවකි. මුදල් ඇමැතිවරයා අදාළ සහන මාලාව ප‍්‍රකාශයට පත් කරමින් මුලින්ම සඳහන් කළේ 14,50,450 ක් වන රාජ්‍ය සේවකයන්ට මාසික පඩියට අමතරව ලබාදෙන රු.5000 ක අතිරේක දීමනාව ගැනය. එය මේ මස සිටම ඔවුන්ගේ මාසික වැටුපට අමතරව ගෙවනු ලබයි. සියලූ විශ‍්‍රාමිකයන්ටත් මේ රු.5000 ක අතිරේක දීමනාව ලබාදේ. අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ලැබූ අයට ද ඊටත් අමතරව මෙම දීමනාව ලබා දේ. මේ පිරිසට අතිරේක දීමනාව රජයෙන් ගෙවන බව කීවත් එහි බර දරන්නේ රටේ බදු ගෙවන මහජනතාවයි.

එහෙත් දැන් මේ මොහොතේ වඩාත්ම අසහනයට පත් වී සිටින්නේ රාජ්‍ය සේවකයාද? මේ අවස්ථාවේ සාපේක්ෂව රාජ්‍ය සේවකයාට වඩා අමාරුවෙන් සිටින බහුතර ජනයා මත මේ බරත් එකතු වේ. රාජ්‍ය සේවකයා කොවිඞ් කාලයේ කිසිම අඩුවක් නැතුව ගෙදර සිටියත් සම්පුර්ණ වැටුප ලැබූවේය. එහෙත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගෙවන මේ රටේ සෙසු පොදු ජනයාගේ තත්ත්වය කෙබඳුද? අප නම් සිතන්නේ බඩු මිල පීඩනය රාජ්‍ය සේවකයන් ඇතුළු සියලූ දෙනාටම පොදු වූවත් පසුගිය කොවිඞ් කාලයේ කිසිදු වෙනසකින් තොරව පූර්ණ ලෙස මාසික වැටුප් ලැබූ මේ රාජ්‍ය සේවක පිරිස රටේ සෙසු ජනයාට සාපේක්ෂව ඉතා අවම බලපෑමක් සිදු වූ පිරිසක් බවයි. එහෙත් එම සහන මාලාවේ ප‍්‍රධාන සහනයක් වී ඇත්තේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමයි.

  • පෞද්ගලික අංශය සහ සෙසු අවිධිමත් අංශ

පෞද්ගලික අංශයටත් රාජ්‍ය සේවකයන්ට ලබාදුන් දීමනාවට සමගාමීව දීමනාවක් ලබාදෙන ලෙස මුදල් ඇමැතිවරයා පුද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අප නම් සිතන්නේ රජය එවැනි ඉල්ලීමක් කළත් කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පුද්ගලික සමාගම් සහ ආයතන බොහොමයක් ද මූල්‍යමය වශයෙන් අපහසුවට පත්ව ඇති බවයි. මොන තරම් කොවිඞ් වසංගත තත්ත්වයකට මුහුණ දුන්නත්, වැඩ කළත් ගෙදර සිටියත් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුපම ලැබුණත් බොහෝ පෞද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවේ. එනම් හොඳ මූල්‍ය තත්ත්වයක් ඇති ආයතනවල හැර අනෙකුත් බොහොමයක් ආයතනවල සේවකයන්ට කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ රස්සාව නැති වීමේ සහ පඩි කැපීමේ සිට නොයෙකුත් අහිතකර තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවිය. ඒ සඳහා එම සමාගම් හෝ ආයතනවලටම දොස් කීමට ද හැකි නොවේ. එම ආයතනවල ද කොවිඞ් වසංගතය නිසා රට වසා දැමීම හමුවේ ව්‍යාපාර කටයුතු අඩපණ වීම නිසා ආදායම් අහිමි විය. මේ නිසා මුදල් ඇමැතිවරයා ඉල්ලීමක් කළාට ඔය රජයේ සේවකයන්ට දුන් රු.5000 ක දීමනාව මේ රටේ ලක්ෂ 65 කට අධික පෞද්ගලික අංශ සේවකයාට එලෙසම දීම පහසු කටයුත්තක් ලෙස සිතිය නොහැකිය. රාජ්‍ය සේවකයන් ඇතුළු පොදුවේ සියලූ ජනයා විශාල බඩු මිල පීඩනයකට මුහුණ දී සිටියත් පෞද්ගලික අංශයේ සේවකයන්, එදිනෙදා ආදායම් උපයන අය සහ ස්වයං රැකියා ඇතුළු අවිධිමත් අංශවල රැකියා කරන අය මුහුණ දෙන අසහනය වැඩිය. ඒ අයට මේ සහන පැකේජයෙන් ප‍්‍රායෝගිකව සහනයක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ගෙවීමට හැකියාව ඇති සියලූ පෞද්ගලික අංශයේ ආයතන මේ ඉල්ලීම අනුව තම සේවකයන්ට දීමනාවක් ලබා දෙන්නේ නම් ඉතා හොඳය. එහෙත් එසේ කළ නොහැකි බොහොමයක් ආයතන කරන්නේ කුමක් ද? රජයට නම් මුදල් අච්චු ගසා හෝ මේ වියදම් දැරිය හැකිය. එහෙත් පෞද්ගලික අංශයේ ආයතනවලට මුදල් අච්චු ගැසීමට ක‍්‍රමයක් නැත. බැසිල් ඇමැතිවරයා ලබා දී තිබෙන මේ සහන පැකේජය නිසි ලෙස පීඩාවට පත් කණ්ඩායම් ඉලක්ක කරමින් සැලසුම් කළ එකක් නොවන බව පෙනේ.

  • වෙනත් සහන

මේ සහන මාලාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් සඳහා සියලූ බදු ඉවත් කිරීමට තීරණය කළ බව ද බැසිල් ඇමැතිවරයා කීවේය. එය හොඳ දෙයක් වුවත් ඔය කියන බදු අඩු වී වෙළෙඳපොළේ බඩු මිල අඩු වන්නේ ද යන්න නම් ප‍්‍රශ්නයකි. මේ නිසා එම බදු සහනය සැබෑ ලෙස ජනයාට ලැබෙන බවට රජය සහතික විය යුතුය. එසේ නැත්නම් වනු ඇත්තේ මීට පෙර සීනි බද්ද ශත 25 ට අඩු කිරීමේ ඉරණමම මෙයට ද අත්වීමයි. රජයේ ආදායම් අහිමි කරගෙන එම සහනය ජනයාට ද නොලැබෙන්නේ නම් ඵලක් නැත. මේ අතර සමෘද්ධි ලාභීන්ට ද ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබා දෙයි. ගොවි ජනයාට පොහොර ප‍්‍රශ්නය නිසා අස්වනු අඩු වුවහොත් වන්දි ගෙවන බව ද මුදල් ඇමැතිවරයා කීවේය. එහෙත් ඒ සඳහා ඇති ක‍්‍රමවේදය කුමක්ද? කෘෂිකර්ම ඇමැතිවරයා පවසා ඇති පරිදි ගොවීන්ට වන්දි ගෙවීමේ ක‍්‍රමවේදය ගැන නම් ගොවි ජනයා බලවත් විවේචන ඉදිරිපත් කර ඇත.

අස්වනු අඩු වීම සලකා වී කිලෝවකට රුපියල් 75 ක සහතික මිලක් ගෙවමින් වැඩිපුර රු.25 ක් ලබා දීමට ද තීරණය කර ඇත. ඒ අතිරේක මිල ලැබීමට හෝ ගොවීන්ට වගා කිරීමට පොහොර අවශ්‍ය වේ. එහෙත් අද තිබෙන්නේ රසායනික පොහොරත් නැති කාබනික පොහොරත් නැති තත්ත්වයකි. ලබාදෙන කාබනික පොහොරවල ප‍්‍රමිතිය ගැන බලවත් ප‍්‍රශ්න මතු වී ඇත. ඒවා ගොවි ජනයා ප‍්‍රතික්ෂේප කිරීමට ද පටන්ගෙන ඇත. වැඩිපුර රු. 25 ක් ගෙවීම නිසා හාල් කිලෝව දෙන්න වෙන්නේ කීයට ද? රජය එහි බර දරන බව කීවත් එහි බර දරන්නේ බදු ගෙවන ජනතාවයි. එසේම අස්වනු අඩු වුවහොත් සැපයුම අඩු වීමෙන් මිල වැඩි වීම වැළැක්විය නොහැකිය. රටින් හාල් ගෙන්වීමට ගියහොත් නැවත ඒ සඳහා විදේශ විනිමය වැය වේ. එසේම ඔය රටින් ගේන හාල් කාබනික ක‍්‍රමයට නිෂ්පාදනය කළ ඒවා ද? රජය කියන වස විස ප‍්‍රශ්නය එවිට මතු වන්නේ නැද්ද? අනිත් අතට එළවළු සහ පලතුරු වගා කරන අයගේ අස්වනු අඩු වීම ගැන හෝ ඒ ගොවීන්ට සහන සැලසීම ගැන මේ සහන මාලාවේ සඳහනක් නැත. ඒ වෙනුවට ඇත්තේ ගෙවතු වගාවන් සිදු කරන අයට ආධාර ලබාදීමට පියවර ගැනීමයි. එය හොඳ දෙයක් වුවත් ගෙවතු වගාව සෑම දෙනෙක්ටම කිරීමට කාලය හෝ හැකියාව නැත. එහෙත් රජයේ යෝජනාව පරිදි පුළුවන් අය හෝ එය කිරීමට දිරි ගැන්වීම හොඳය. එහෙත් වාණිජ කෘෂිකර්මයෙන් ජීවත් වන පිරිසට වන හානිය ගැන ද රජය බැලිය යුතුය. මේ නිසා අසහනයෙන් සිටින ජනයාට සහන සැලසීමට මුදල් ඇමැතිවරයා සංවේදීවීම ඉතා හොඳය. එහෙත් වඩා වැදගත් වන්නේ මේ සහන තවත් පොදු ජනයාට බරක් නොවන එසේම ඔවුන්ට සැබෑ සහනයක් ඇති කරන සහ වඩාත් අසහනයට පත් කණ්ඩායම් නිසි ලෙස ඉලක්ක කළ ඒවා වන්නේ නම්ය. ඒ නිසා මේ සහන මාලාව ගැන නැවත වරක් යම් පසු විපරමකට ලක් කිරීම වඩා සුදුසු බව අපගේ යෝජනාවයි.

  • වේගයෙන් ඉහළ යන ආහාර මිල

ආහාර උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 9.9 සිට සියයට 12.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5 සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබේ. මේ නිසා ආහාර උද්ධමනය වැඩි වීම පොදුවේ උද්ධමනය ඉහළ යෑමට වැඩියෙන් බලපා ඇත. පොහොර ප‍්‍රශ්නය සහ ඩොලර් ප‍්‍රශ්නය නිසා තවත් උද්ධමනය මෙන්ම ආහාර මිල ගණන් වැඩි වීමට ඉඩ තිබේ. ජනතාව කලක් තිස්සේ මුහුණ දෙන ගෑස් ප‍්‍රශ්නය, බඩු මිල ප‍්‍රශ්නය, පොහොර ප‍්‍රශ්නය සහ ගොවි ජනතා ප‍්‍රශ්නවලට ද වහාම විසඳුම් ලබා දී ජනතා අසහනය සමනය කළ යුතුව තිබේ. මේවා කොරෝනා පිට දැමීමට හැකියාවක් නැත. රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ යන දෙදෙනා වහාම ඉවත් කිරීමට පියවර ගත් පමණින් ඔවුන් කී ආහාර හිඟයේ ප‍්‍රශ්නයට හෝ ආහාර මිල අධික වීමේ ප‍්‍රශ්නයට හෝ මෙරට කෘෂිකර්මය සහ ගොවි ජනයා මුහුණ දෙන ප‍්‍රශ්නවලට මෙන්ම අවසානයේ මේ රටේ සමස්ත පාරිභෝගික ජනයා මුහුණ දෙන උග‍්‍ර මිල පීඩනයට විසඳුමක් නොලැබෙන බව රජයේ උදවිය මතක තබාගත යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment