බැසිල්ට – නඩේෂන්ට එරෙහි  මල්වානේ නඩුව ඉදිරියට ගෙනයනවාද නැද්ද තීන්දුව අද

227

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට අදාළව අධි චෝදනා 03 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වා ගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව අද (13 වැනිදා) ගම්පහ මහාධිකරණයෙන් ලබාදීමට නියමිතව ඇත.

ඉකුත් මාර්තු මස 25 වැනිදා මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ ගම්පහ මහාධිකරණයේ දී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී පැමිණිල්ල විසින් කැඳවන ලද පළමුවැනි සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම (එම නිවස ඉදිකළ කොන්ත්‍රාත්කරු) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (එෆ්.සී අයි.ඩී) තමා විසින් පැමිණිල්ලක් සිදුකර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටියේය.

සාක්ෂිකරු එසේ පවසා සිටින හෙයින් බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති මෙම නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බවට පැමිණිල්ල මෙහෙයවූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා මහාධිකරණයට දැනුම් දුන්නේය.

එදින (මාර්තු මස 25) එම නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවෝ හත්දෙනෙක් මහාධිකරණය මගින් නිකුත් කෙරුණු සිතාසිවලට අනුව මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකරන බවට මහාධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එම සාක්ෂිකරුවෝ හත් දෙනා මහාධිකරණය මගින් මුදා හරිනු ලැබූහ.

පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකර නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයන් චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයෝ මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති විසින් අධි චෝදනා තුනක් යටතේ ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වා ගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 13 වැනිදා දක්වා (අදට) මාර්තු මස 25 වෙනිදා කල් තැබීය.

අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකළ චෝදනා පත්‍රය 2017 වර්ෂයේ මැයි මස 03 වැනිදා එවකට ගම්පහ මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට කියවා දී අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය. විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව වසර පහක් මෙම නඩුව ගම්පහ මහාධිකරණයේදී වරින් වර විභාගයට ගැනුණි. අක්කර 16 යි රූඩ් 01යි පර්චස් 08 ක් විශාල වූ ඉඩම සහ එහි දේපළවල රජයේ තක්සේරුව රුපියල් විසි කෝටි අසූ ලක්ෂයක් බවට මහාධිකරණයේ දී අනාවරණය විය. මෙම ඉඩමට සහ නිවස ඇතුළු දේපළවලට බැසිල් රාජපක්ෂ, තිරුකුමාරන් නඩේෂන් සහ එම නිවස ඉදි කළ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි යන තිදෙනා හිමිකම් නොකියන බවට

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නීතිපති උපදෙස් මත මල්වානේ පිහිටි එම ඉඩම සහ නිවස ඇතුළු දේපළ රජයට පවරා ගෙන ඇති බවට ද ගම්පහ මහාධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment