බැසිල් දැන්ම නොඑයි

297

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩක් තිබුණත් එය දැන්ම සිදු නොවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
 
 ඒ මහතා ලබන මස 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුම්වලට පිළිතුරු වශයෙන් මේ බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට දැනගන්නට ලැබිණි.
 
 මේ ගැන බැසිල් රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ගවලින් කළ විමසුමකට අනුව දැනගන්නට ලැබුණේ ඔහු තවමත් නිරෝධායනයේ සිටින බවත් එවැනි තීරණයක් ගැන ඔවුන් නොදන්නා බවත්ය.
 
 එසේම බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස පත්වනු ඇති බවත් පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති බවටත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වූවත් දැනට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ධුරය දරන මුදල් අමාත්‍යංශයේ ද එවැනි වෙනසක් සිදු කිරීමේ සූදානමක් නොමැති බවට ද රජයේ එම ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපතිවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
 
 ඇමෙරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජුනි 24 වැනිදා යළි දිවයිනට පැමිණියේය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment