බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නෑ – කල් පැන්න ඖෂධ මිනිස් ජීවිතවලට මාරකයක්

109

සමස්ත ලංකා පෞද්ගලික  ඔසුසල් හිමියන්ගේ සංගමය

කල් ඉකුත්වන ඖෂධ බැහැරකිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් අනාගතයේදී මිනිස් ජීවිතවලටත්, පරිසරයටත් ඉතා බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

රට පුරා ඖෂධ සල් පන්දහසකට අධික ප්‍රමාණයකින්, ඉවත්කරන කල් ඉකුත් වූ ඖෂධ නිසා, වසරකට රුපියල් බිලියන දෙකකට අධික, ජාතික ධනයක් විනාශ වන බවත්, මෙයින් පරිසරයට සිදුවන හානිය ගණනය කිරීමට නොහැකි තරම් බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.

කල් ඉකුත්වන ප්‍රතිජීවක ඖෂධ පරිසරයට එක්වීමෙන් සිදුවන අනර්ථය ඉතාම බරපතළ බවත්, කල්යෑමේදී ඒවා පරිසරයට මුසුවීමෙන් ජනතාවගේ සෞඛ්‍යයට මහත් තර්ජනයක් එල්ලවන බවත් සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියටත්, සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ටත් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නද කල් ඉකුත් වන ඖෂධ නියාමනයට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම කනගාටුවක් බවත් පෞද්ගලික ඔසු සල් හිමියන්ගේ සංගමයේ මහ ලේකම් අනුරුද්ධ රණවක මහතා කියා සිටියේය.

ඖෂධ නියාමන අධිකාරිය විසින් පෞද්ගලික ඔසු සල්වල ඇති ඖෂධ ගබඩා, ඇසුරුම් පිළිබඳව දැඩි රෙගුලාසි පනවන සේම මිනිස් ජීවිතවලටත්, පරිසරයටත් තර්ජනයක් වන කල් ඉකුත් වූ විෂ කාරක ඖෂධ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව කල් ඉකුත්වන ඖෂධ නිෂ්පාදනය කරන ආයතන විසින් නැවත ලබාගත යුතු අතර ඒවා පරිසරයට හිතකර අයුරින් විනාශ කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ කල් ඉකුත්වන ඖෂධ නිෂ්පාදන ආයතන විසින් නැවත ලබා නොගැනීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දුර්වලතාවක් බව ඔවුහූ කියා සිටිති. එවැනි නියාමනයක් නිසියාකාරයෙන් සිදුවේ නම් ජනතාවගේ සෞඛ්‍යයත්, පරිසරයේ ආරක්‍ෂාවත් තහවුරු වී වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක් රටට ඉතිරි කළ හැකි බවත් ඔසුසල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment