බෑනා සමග ඇතිවූ ගැටුමින් මාමණ්ඩිය ඉහළ මහලින් වැටී මරුට – නැන්දම්මාට බරපතළ තුවාල

458

ගම්පහ ඉහළයාගොඩ ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේදී බෑනා ‘ මාමණ්ඩිය සහ නැන්දම්මා අතර ඇතිවූ ආරවුලකදී ඉහළ මාලයෙන් බිමට ඇද වැටී මාමණ්ඩිය මිය

ගොස් නැන්දම්මා බරපතළ තුවාල ලබා ඇතැයි යක්කල පොලිසිය පවසයි.

යක්කල, ඉහළයාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 66 හැවිරිදි ඩබ්. ජී. සුගත් විල්බට් ජයසිංහ නමැති අය මෙසේ මිය ගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බිරිඳ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

සැකකාර බෑනා නාවික හමුදාවේ සේවය කරන අයකු බව පොලිසිය කීය.

සැකකරු අසල්වැසි නිවසක පවත්වන ලද සාදයකට පෙරේදා (13දා) රාත්‍රී සහභාගි වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම සාදයට සහභාගි නොවන ලෙසට බිරිඳ සහ බිරිඳගේ’ දෙමව්පියන් සැකකරුට පවසා ඇතත් සැකකරු එම විරෝධතා නොතකා සාදයට සහභාගි වී ඇති බව පොලිසිය පවසයි.

සාදය අවසන් වී සැකකරු නිවසට පැමිණීමෙන් අනතුරුව සැකකරු බිරිඳ සහ බිරිඳගේ දෙමාපියන් අතර අඩක් නිම කළ නිවසේ ඉහළ මහලේ දී ආරවුලක් ඇති වී ඇති බව පොලීසිය කියයි. එහිදී සැකකරු සහ මාමණ්ඩිය අතර පොර බැදීමක් සිදු වී ඇති බවත් එහිදී ආරක්ෂිත වැටක් නැති උඩු මහලේ කවුළුවකින් මාමණ්ඩිය බිමට ඇද වැටී ඇති බවත් මාමණ්ඩියගේ සිරුර මතට ඔහුගේ බිරිඳ ඇද වැටී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු මාමණ්ඩිය සහ නැන්දම්මාව උඩුමහලින් බිමට තල්ලු කළේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව යක්කල පොලිසිය පවසයි. 40 හැවිරිදි සැකකරුව යක්කල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment