බිත්තරයක් නිසා උත්තරයක් නැතිව ගිය රටක මිනිස්සු

425

බිත්තරයටත් පාලන මිලක්… නිෂ්පාදකයා අධික ලාභ ලබනවා…
වෙළෙන්දට සහ පාරිභෝගිකයට කිසිම සහනයක් නෑ

ලොව මුල්වරට බිහිවන්නේ බිත්තරයද? කිකිළියද? යන ප්‍රශ්නයට අදටත් උත්තරයක් නැත. එයට උත්තර සෙවීම පැත්තකින් තබන මෙරට ජනතාව මේ වනවිට උත්තර සොයමින් සිටින්නේ තම තමන්ගේ බත් පතට බිත්තරයක් එක්කර ගන්නේ කෙසේද යන ගැටලුවටය. එබැවින් ‘බිත්තරය’ මේ දිනවල සමාජයේ බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. වහා බිඳෙනසුලු බිත්තරයේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යන වටපිටාවක බිත්තර නිෂ්පාදකයන් ද ‘කොටන කුකුළුන්’ බවට පත් වෙමින් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටින්නේ සත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් බිත්තරේ මිල පහත දැමිය නොහැකි බවය. නයි බිත්තර පවා පුපුරා යන හඬින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පවතින නිෂ්පාදන පිරිවැය හේතුවෙන් බිත්තරයක තොග මිල රුපියල් 60ට අලෙවි කළ ද බිත්තර නිෂ්පාදකයන්ට ඉන් අත් වෙන සෙතක් නොමැති බවය.

මස්, මාළු ‘ගිනි ගණන්’ යටතේ අලෙවි වන තත්ත්වයක් තුළ මෙරට සාමාන්‍ය ජනතාවට සිය පෝෂණ අවශ්‍යතාවන් තරමක් දුරට හෝ සමනය කර ගැනීම පිණිස බිත්තරය මහත් උපකාරයක් විය. ඊට අමතරව අවන්හල්, හෝටල් සහ බේකරි ගත් විට ඊට අදාළ ආහාර නිෂ්පාදනය පිණිස ද බිත්තරය නැතිවම බැරි අමුද්‍රව්‍යයක් බවට පත් වන්නේ කලක පටන්ය. මේ තත්ත්වය කරණකොට වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ කුකුළු ගොවිපළ කර්මාන්තයක් බිහිවන අතර ඒ අනුව මෙරට බිත්තර අවශ්‍යතාවෙන් වැඩි කොටසක් සපයන්නේ වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යන බිත්තර නිෂ්පාදකයන්ය. බිත්තර මිල තීරණය කරන්නේ ඔවුන්ද? මෙහි සැබෑ තත්ත්වය විමසා බැලීම පිණිස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාගෙන් ඉකුත්දා (බ්‍රහස්පතින්දා) සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ ඇතැම් මාධ්‍ය විසින් සැබෑ තතු වසන් කොට අසත්‍ය ප්‍රචාරය කරන බැවින් තමන් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවක්ය. ඔහු තවදුරටත් වෙහෙසට පත් නොකළ යුතු බැවින් බිත්තර නිෂ්පාදනයේ ඇත්ත කතාව වෙනත් පාර්ශ්ව කීපයක් හරහා හෙළිදරව් කර ගැනීමට ඉන් අනතුරුව අප විසින් උත්සාහ කළෙමු. එහිදී අනාවරණය වූ වැදගත්ම කරුණ බවට පත්වූයේ බිත්තර මිල තීරණය කිරීමේ සර්ව බලධාරි බලය මේ වනවිට මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් විසින් අත්පත් කරගෙන ඇති බවක්ය. නම් ගම් හෙළි කිරීම තුළ මාධ්‍ය හමුවේ ‘පොරවල්’ වීම ප්‍රතික්ෂේප කළ ඔවුන් බිත්තරේ ඇත්ත විස්තරේ හෙළි කර සිටියේ මේ ආකාරයෙන්ය.

“දැන් වසර කීපයකට පෙර බිත්තරවල තොග මිල තීරණය කළේ කොළඹින්. ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස්වීමත් එක්ක බිත්තරයක මිල තීරණය කිරීමේ බලය බිත්තර නිෂ්පාදකයා උදුරා ගත්තා. වෙළඳපොළ හැසිරීම ගැන අවබෝධයක් සහිත වෙළෙන්දව පැත්තකට දාල මහා පරිමාණ ෆාම් අයිතිකාරයො මිල තීරණය කිරීමේ බලය ගත්තට පස්සෙ බිත්තර මිල නිතර නිතර වෙනස් වෙන්න ගත්තා. මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයාගේ ගොවිපළේ බිත්තර ඉවර නම් ඒ අනුව ඒ ඒ නිෂ්පාදකය තීරණය කරනවා ලංකාවේ බිත්තර හිඟයක් පවතිනවා ඒ හේතුවෙන් මිල ඉහළ දැමිය යුතුයි කියලා. නමුත් තොග වෙළෙන්දො ලෙස අපට මේකට එරෙහි වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද ඒ අය තමන්ගෙ නිෂ්පාදන අලෙවි නොකර හිටියොත් බිත්තර තොග වෙළඳාම වගේම සාමාන්‍ය වෙළඳාමත් කඩා වැටෛනවා. මේ ගැන ඊයේ පෙරේදා වෙනකම් රජය විසින් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ. මේ තත්ත්වය තුළ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකය විශාල ලාභයක් ලැබුවා. සරලවම කියනවා නම් බිත්තර අලෙවියේදී තොග වෙළෙන්දා සහ සාමාන්‍ය වෙළන්දා අතර රුපියල් පහක වගේ ලාභයක් පමණයි බෙදිලා යන්නේ…”

බිත්තර අලෙවියේ සාමාන්‍ය අගයක් වශයෙන් ගත් විට අපේ රටේ දවසක් තුළ බිත්තර ලක්ෂ අසූවක් පමණ පාරිභෝජනය කරනවා. නමුත් දැන් නිෂ්පාදනයේ අඩුවක් දකින්න ලැබෙනවා. පහුගිය දවස්වල තිබුණ ඉන්ධන හිඟයත් එක්ක ප්‍රවාහනය කඩා වැටුණ හින්ද සුළු පරිමාණ බිත්තර ගොවියෝ සත්තු ටික මසට විකුණලා කර්මාන්තයෙන් ඉවත් වුණා. නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයා මේක කොහොමහරි අල්ලගෙන ගියා. දැන් ගෑස්, ඉන්ධන ප්‍රශ්නය තරමක් දුරට හරිගිහින් හින්ද දැන් ආපහු බිත්තරයට හොඳ ඉල්ලුමක් පවතිනවා. නමුත් සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයන් විශාල වශයෙන් තම තමන්ගෙ නිෂ්පාදනයෙන් ඈත් වෙලා හින්ද දැන් නිෂ්පාදනය ලක්ෂ 60ට විතර අඩු වෙලා තියෙන්නෙ. ඒ හින්ද බිත්තර නිෂ්පාදකය මිල උස්සන්න ගත්තා. පසුගිය දවස්වල රුපියල් 55ට තමයි ගොවිපළට ගිහින් අපි බිත්තර මිලට ගත්තෙ. නමුත් අපි හොඳටම දන්නවා කුකුල් කෑම රුපියල් 300ට ගියත් බිත්තරයක් රුපියල් 55ක් වෙන්නෙ නෑ කියලා. අද කුකුල් කෑම කිලෝ 01ක් රුපියල් දෙසීය ගානක් වෙනවා. නමුත් දැනට අවුරුද්දකට වගේ ඉස්සර කුකුල් කෑම කිලෝ එක රුපියල් සියයට එකසිය විස්සට තිබෙද්දී බිත්තරයක් රුපියල් 16ට දෙන්න පුළුවන් නම් ඒක දෙසීය ගානට ගියත් බිත්තරයක් රුපියල් 35ක් වගේ මිලකට දෙන්න පුළුවන්. අපිත් කැමැතියි බිත්තර ගොවියා රැකෙනවට. නමුත් එහෙම කියලා පාරිභෝගිකයා මතම බිත්තර මිල පටවන එකට අපි විරුද්ධයි. මොකද මේකෙන් බිත්තර ගොවියා වගේම පාරිභෝගිකයත් නැති වෙනවා….”

කස්ටමර් ඔන්ලි බිත්තර

ඉහත සඳහන් කරන ලද්දේ බිත්තර තොග වෙළඳුන් කීප දෙනෙක් අප හා පවසා සිටි කරුණු කාරණාවන්ය.

මේ කතාව අප හා සඳහන් කර සිටින්නේ සිල්ලර කඩ හිමියන් කීප දෙනෙක් විසින්ය. බිත්තරය ගණන් ඉස්සීම හේතුවෙන් බක්කියෙන් බිත්තර ඉවත් කිරීමට සිදුවූ බව සඳහන් කළ ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බිත්තරයට ද මදන මෝදකයට අත්වූ ඉරණම උදා වී ඇති බවය.

“රජයේ පාලන මිලත් එක්ක අපිට මේ දවස්වල බිත්තර විකුණන්න බෑ. මොකද පහුගිය දවස්වල බිත්තරයක තොග මිල රුපියල් 58ක් විතර වුණා. ඒ ගානට ගත්ත බිත්තර දැන් තියෙන පාලන මිලට දුන්නොත් කඩ වහන්න වෙනවා. සුදු බිත්තරයක් රුපියල් 43ට රතු බිත්තරයක් රුපියල් 45ට විකුණන්න නම් ඊට අඩුවෙන් අපට ලැබෙන්න ඕන. බිත්තරයකින් රුපියල් 02ක් වගේ ලාභයක් තියාගෙන තමයි අපි බිස්නස් කරන්නෙ. නමුත් තාමත් අපි ගාව තියෙන්නෙ පරණ මිලට ගත්ත බිත්තර. ඒ හින්ද අපි දැන් එළිපිට බිත්තර විකුණන්නෙ නෑ. කස්ටමර් කෙනෙක් ආවොත් පමණක් පරණ ගානට බඩු දෙනවා. ඒ කියන්නෙ බිත්තරයක් රුපියල් 60යි. බලෙන් දෙන්නෙ නෑ. ඉල්ලුවොත් දෙනවා. මහ කාලයක් තියාගෙන බිත්තර විකුණන්න බෑ. දවස් 21ක් ඇතුළත බිත්තරයක් ආහාරයට ගන්න ඕන. නැත්නම් නරක් වෙන්න බලනවා. ඕපන් එකේ බිත්තරයක් විකුණලා රුපියල් දෙකේ ලාබෙට ලක්ෂ ගණනින් දඩ ගෙවන්න බෑ. මෙහෙම ගියොත් ඉස්සරහට දුප්පත් මිනිහෙකුට බිත්තරයක්වත් කන්න ලැබෙන්නෙ නෑ. දුප්පත් මිනිහට කිකිළියොත් ගණන් උස්සන්න ගත්තා. තොග වෙළන්දයි සිල්ලර වෙළෙන්දයි පාරිභෝභිගකයයි එක බෝට්ටුවක. මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයා තමයි මේකෙනුත් ගොඩ යන්නෙ.”

සිල්ලර කඩ වෙළඳාමෙන් බිත්තරය ඉවත් වන්නේ ඒ ආකාරයෙන්ය. මේ වනවිට බිත්තර වෙළඳාමද ‘බිත්තර ඇල්ලීමේ’ ක්‍රීඩාව මෙන් හරි පරිස්සමට සිදු කළ යුතු දෙයක් බවට පත්ව ඇත. යම් හෙයකින් වැඩි මිලට බිත්තර අලෙවි කොට නීතියේ රැහැනට කොටු වුවහොත් සාමාන්‍ය කඩ හිමියකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා දඩ මුදලක් නියම වන අතර සුපිරි වෙළඳසැලක නම් එම දඩය රුපියල් ලක්ෂ පහේ සිට පනහ දක්වා ඉහළ අගයක් ගෙන ඇත. එබැවින් මේ දිනවල පිදේනි තටුවක් පිණිස බිත්තරයක් සොයා ගැනීම කුකුළෙක් සොයා ගැනීමට වඩා දුෂ්කර දෙයක් බවට පත්ව ඇත.

කුකුල් කොටු තුළ සිරගත ජීවිත ගත කරන කිකිළියන් විසින් මෙරට බිත්තර අවශ්‍යතාවයෙන් ලක්ෂ 70ත් 80ත් අතර ප්‍රමාණයක් දෛනිකව ප්‍රදානය කළ අතර පවත්නා සත්ව ආහාර හිඟය සහ වෙනත් හේතුන් මත කර්මාන්තය යම් පසුබෑමකට ලක්වීම හේතුවෙන් මේ වනවිට එහි යම් අඩුවක් දැකගත හැක. ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් මාස කීපයක් හෝටල් සහ ආපනශාලා වසා තිබීම මත සුළු පරිමාණ කුකුල් ගොවිපළ විශාල සංඛ්‍යාවක් වසා දැමීම ඊට ප්‍රධානතම හේතුව බවට පත් විය. ඒ බව බිත්තර නිෂ්පාදකයන් විසින් කීප අවස්ථාවකදීම මාධ්‍ය හමුවේ සඳහන් කරන ආකාරයක් ද දැකගත හැකි විය. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තවදුරටත් කර්මාන්තය රැක ගැනීම පිණිස රජයෙන් යම් සහනයක් අවශ්‍ය වන බවත් පවත්නා තත්ත්වය තුළ බිත්තරයක තොග මිල රුපියල් 60 දක්වා ඉහළ දැමුව ද ‘ඇඟට දැනෙන ලාභයක්’ ඒ හරහා තමන්ට නොලැබෙන බවත්ය.

බිත්තර නිෂ්පාදකයන්ගේ හිස මතට කුකුළු කොටු කඩා පාත් වෙයිද?

බිත්තර නිෂ්පාදකයන්ගේ අඳෝනාව ඇත්තක් ද යන්න පිළිබඳව අප විසින් සිදු කළ සොයා බැලීමකදී හෙළි වූයේ බිත්තර පිළිබඳ ඇත්ත විස්තර ඔවුන් විසින් තවදුරටත් වසන් කරන බවය. රස රහස් රැසක් සඟවා ගනිමින් සත්ව ආහාර මත්තේම හැපෙන ඔවුන් සඳහන් කරන්නේ ඉදිරියේදි බිත්තර මිලෙහි යම් අඩු වීමක් සිදු වෙතොත් එය කරනු ලබන්නේ පාරිභෝගික අධිකාරිය කෙරෙහි පවතින බියකින් නොව බිත්තර නරක් වීම තවදුරටත් උහුලාගත නොහැකි බැවිනි.

මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නඟන මැසිවිල්ලක් බවට පත්ව ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආදියේ මිල ඉහළ යන බවය. එය ඉහළ යන නිෂ්පදාන පිරිවැයට සාපේක්ෂව මිල ඉහළ යෑවීමක් නොවන බව රට විසින් අවබෝධ කරගෙන හමාරය. මෙරට බිස්කට් කර්මාන්තය තුළ මේ වනවිට යම් කඩා වැටීමක් සිදු වී ඇත්නම් ඉන් ගම්‍ය වන්නේ රටේ ජනතාව තවදුරටත් ‘ඇන්දවිය’ නොහැකි බවයි.

ඒ අනුව ඉදිරියේදී පෝෂණ අවස්ථාවන් පැත්තකින් තබන ජනතාව බිත්තරයෙන් ඈත්වීමට තීරණය කළහොත් බිත්තර නිෂ්පාදනයට අත්වන්නේ ද මෙරට බිස්කට් කර්මාන්තයට අත්වූ ඉරණමට සමාන දෙයක්ය. අප විසින් තහවුරු කර ගත් කරුණුවලට අනුව කිකිළියන් දහසකින් සමන්විත බිත්තර කොටුවකින් පළමු මාස 06 තුළ 90%ක බිත්තර අස්වැන්නක් ලබාගත හැකි අතර දෙවන මාස 06 තුළ 75%ක අස්වැන්නක් ලබාගත හැක. අවසන් මාස 06 තුළ එම ප්‍රතිශතය 60%, 70% අතර අගයක් ගන්නා අතර වසර දෙකක් අවසානයේදී එම සතුන් මසට අලෙවි වීම කිසිවෙකුට වැළැක්විය නොහැකිය. එබැවින් බිත්තර නිෂ්පාදනයේ අත්දැකීම් බහුල පිරිස් පෙන්වා දෙන්නේ සත්ව ආහාර මිල ඉහළ ගිය පමණින් බිත්තර මිල ද යම් ප්‍රමාණයකට ඉහළ යා හැකි බවත් එවැනි තත්ත්වයක් තුළ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තරයක් අලෙවි වන මිල කිසිසේත්ම නිෂ්පාදන වියදම් ආදියට සාපේක්ෂව මිල ඉහළ යෑමක් නොව බිත්තර නිෂ්පාදකයන් විසින් කරන ලද කෘත්‍රීම මිල ඉහළ යැවීමක් බවය.

මෙයට විසඳුමක් ලෙස මේ වනවිට රජය ගැසට් නිවේදනයක් මගින් බිත්තරය සඳහා පාලන මිලක් නියම කර ඇත. එය ජනතාවගේ පැත්තෙන් ගත් විට යම්කිසි සහනයක් ලෙස හැඳින්විය හැක. දැනටමත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර වැඩි මිලට අලෙවි කරන්නන් වටලා අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරමින් ඇත. පාරිභෝගිකයන් හා බිත්තර වෙළඳාමේ නිරත තොග සහ සාමාන්‍ය වෙළෙන්දන් පවසා සිටින්නේ දිනෙන් දින ඉහළ යමින් පැවති බිත්තර මිල හමුවේ ඒ සඳහා පාලන මිලක් නියම කිරීමට රජය විසින් ගත් තීරණය කාලෝචිත බවය. මේ සම්බන්ධයෙන් හෝටල් හා බේකරි නිෂ්පාදකයන් පවසා සිටින්නේ බිත්තර මිල පහළ දැමීම තුළ බිත්තර කෑම පාර්සලයේ සිට අනිකුත් නිෂ්පාදන ආදියේ මිල ගණන් තරමක් දුරට හෝ පහළ දැමීමක් සිදු කළ හැකි බවය.

සිදුවිය යුත්තේ තුන්වේල සරිකර ගැනීමට නොහැකි ජනතාවට කුමන හෝ සහනයක් ලබාදීම බැවින් දැනට රට තුළ පවතින නොනිල බත්තර ඒකාධිකාරිය ඇතුළු පාරිභෝගිකයා සුරාකන අනෙකුත් නිෂ්පාදනයන් ආදියෙන් ද හැකිතාක් සහන ලබාදීමය. රට තුළ පවතින ජනතා අසහනය තරමක් දුරට හෝ සමනය කළ හැකි වන්නේ එවැනි මැදිහත්වීම් තුළින් පමණය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment