බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

90

සතොස ඇතුළු වෙළෙඳ සල් මගින් අලෙවියට පියවර – වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු

අදින් ආරම්භ වන සතියේදී රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර පිටරටින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද බිත්තර ආනයන සඳහා ටෙන්ඩර් භාරදීම අද (9 දා) ආරම්භ කරන බවද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේ අදාළ බිත්තර සතොස ඇතුළු සියලුම වෙළෙඳ සල්වලට ලබාදීමට කටයුතු කරන බවයි. මෙහිදී තවදුරටත් කතා කළ වෙළෙඳ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා අපි බිත්තර ආනයනය කරනවා. ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය ආරම්භ කරලයි තියෙන්නේ. එකපාරට අපිට කියන්න බැහැ බිත්තර මෙච්චර මෙච්චර ප්‍රමාණයක් ගෙන්වනවා කියලා. රටේ අවශ්‍යතාව අනුව බිත්තර ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංගම්වලට රට පාලනය කරන්න දෙන්න බැහැ. වෙළෙඳ අමාත්‍යාංශයක් තියෙන්නේ රටේ පාරිභෝගිකයන් ගැන හිතන්නයි.

ඔය සංගම් කිව්වා නලින්ගේ බිත්තරය රුපියල් 30 ට දුන්නොත් ඒ අය බිත්තරය රුපියල් 25 ට දෙනව කියලා. එහෙම බිත්තරය රුපියල් 25 ට දුන්නොත් නලින්ගේ බිත්තරය හෙට නවත්වනවා.

මේ අතර සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත බිත්තරයක් රුපියල් 53 ට ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියා සිටී. බිත්තර ලක්‍ෂ 8 ක් රැගත් ලොරි රථ පෙරේදා (7දා) කොළඹට පැමිණි බවද හෙතෙම කීය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment