බිත්තර ආනයනයට හරස් කපන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

95

බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පුද්ගලයන් හා පාර්ශ්ව පිළිබඳව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

රට තුළ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවට ඇතිවන ගැටලුවලට විසඳුමක් වශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති ඇමැති මණ්ඩල රැස්වීමකදී කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි. ඇමැති මණ්ඩලය බිත්තර ආනයනයට එසේ අනුමැතිය ලබා දුන්නද ඇතැම් රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු දක්වමින් ගත් තීරණ හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක නොවුණි.

මේ වන විට මෙරට තුළ බිත්තර ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු නොවන නිසා බිත්තර හිඟයක් ඇතිවී මිල ඉහළ යෑම ද සිදුවන බව මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රෝහල්, පාසල් දරුවන්ගේ දිවා ආහාරය සහ බේකරි නිෂ්පාදකයන් වෙත ලබාදීමට තීරණය කර තිබුණද ඒ සඳහා අනුමැතිය ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මකව ඇතැයි වෙළෙඳ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා අදාළ දැනුම් දීම සිදු කළේ ඒ අනුව බව ද කී ඇමැතිවරයා ලෝකයේ බිත්තර අපනයනය කෙරෙන ප්‍රධාන රාජ්‍යයක් ලෙස ඉන්දියාව රටවල් රැසකට බිත්තර අපනයනය කරද්දී මෙරටට ඉන්දියාවෙන් බිත්තර ගෙන ඒමට නොහැකි බවට කවුරුන් හෝ තීරණය කරනවා නම් එයට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බවද කියා සිටියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment