බිත්තර කේස් එක – (සුන්වූ ප්‍රෝටීන අපේක්ෂාව)

855

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බිත්තර කේස් එකකට බිත්තර gross 12 ක් හෙවත් 1728 ක් තිබේ. Gross එකක් යනු දුසිම් දොළහක් හෙවත් ඒකක 144 කි. ලංකාවේ කඩවල්වල බිත්තර එක බැගින් වික්කද ඉන්දියාවේ බැංගලෝරය ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවකම බිත්තර අලෙවි කරන්නේ කිලෝ ගණනටය. බිත්තරවල ප්‍රමාණය එකිනෙකට වෙනස්ය. ඒ නිසා වඩාත් සාධාරණ වන්නේ බිත්තර එක බැගින් නොව බරට අනුව විකිණීම බව ඉන්දියානු බිත්තර ව්‍යාපාරිකයන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකාව මේවන විට ප්‍රශ්න ගණනාවකින් හෙම්බත්ව සිටී. ලයිට් බිල, වතුර බිල වැඩිවීමද ඉහළ ගිය ජීවන වියදමේම කොටස්ය. පැය දෙකයි විනාඩි විස්සේ ලයිට් කැපිල්ලද ජනතාවට දරා ගැනීමට අමාරුය. 1978 න් පසු ශ්‍රී ලංකාව ඉතා ඉක්මනට යටිතල පහසුකම්වලට පුරුදු කරන ලදී. විදුලි බලය, හොඳ පාරවල්, යාන වාහන ඇතුළු බොහෝ දේ ඉතා ඉක්මනට රට පුරා පැතිර ගියේය. ක්‍රිස්තු වර්ෂ 2000 වන විට ලෝකයේ මිල අධිකතම සහ අනර්ඝතම වාහන අපේ ඇඟේ හැපෙමින් ගමන් කරනු දැකගත හැකිවිය. මිනිසුන් ඉතා වේගයෙන් ජාත්‍යන්තර ලේබල් සහිත බඩු වලටත් සුඛෝපභෝගීත්වයටත් ඉව ඇල්ලීමට පටන් ගත්හ. ක්‍රිස්තු වර්ෂ 2000 න් පසු දශකයක පමණ කාලයක් සුඛෝපභෝගීත්වයට පුරුදු කරන ලද ජනයා දවසකට පැය 2 විනාඩි 20 කාලයක විදුලි කැපිල්ලකට හඬා වැටීම අභව්‍ය වුවද එය නොවැළැක්විය හැකි කාරණයකි. ඒ අතර රුපියල් බිලියන 10 ක වියදමින් ඡන්දයක් පැවැත්වීමට වැඩකටයුතු සලස්වාගෙන යනු ලැබේ. මේ සියල්ල අතර අප අද බිත්තර ගැන කතා කරන්නේ ඇයි? බිත්තර යනු දැනට මේ රටේ ජනතාවට අඩුම මිලට ලබාගත හැකි ප්‍රෝටීන් සාධකය වේ. පසුගිය කාලයේදී බිත්තර මිල උඩ පනිමින් සිට අන්තිමට රුපියල් 70 තෙක් ඉහළ ගියේය. දැනට මේ රටේ තෝර මාළු කිලෝවක් රුපියල් 4500 කි. තලපත් කිලෝවක් රුපියල් 3000 කි. කෙලවල්ලා කිලෝවක් රුපියල් 2200 කි. කිසි කෙනකුගේ ඇගයීමකට ලක් නොවී කිලෝව රුපියල් දෙසීයට තුන්සීයට තිබූ ලින්නා නමැති මත්ස්‍ය වර්ගයද කිලෝව රුපියල් 1300 ඉක්මවන්නේය. තෙල් පෝලිම් තිබුණු කාලයේදී සාලයන් කිලෝවක් රුපියල් 1100 ට ගිය අතර සූඩයන් කිලෝවක් රුපියල් 800 ට ගියේය. මීට අවුරුදු පහකට පෙර කිලෝවක් රුපියල් 380 ක් වූ කුකුල් මස් අද රුපියල් 1300 කි. මේ සියලු ප්‍රෝටීන ප්‍රභවයන් සමග සසඳා බැලීමේදී අඩුම මිලට ගත හැකිව තිබූ ප්‍රෝටීන ප්‍රභවයන් වූයේ බිත්තර සහ සෝයා මීට් පමණි. සෝයා මීට් යනු කොතරම් බැරි අමාරුකම් තිබුණද එක දිගට අනුභව කළ හැකි ප්‍රෝටීන් ප්‍රභවයක් නොවේ. එහෙත් බිත්තර පිළිබඳ එවැනි අවුලක් නැත. එය විවිධාකාරයට අනුභව කළ හැකිය.

ශ්‍රී ලංකාවේ බිත්තර මිල කිසියම් ව්‍යාපාරික කල්ලියක් විසින් පාලනය කරන බව දැනගැනීමට තිබේ. රුපියල් 34 ට දීමට හැකි බිත්තරය රුපියල් හැට හැත්තෑව දක්වා වැඩි කරන්නේ මේ කල්ලිය විසිනි. ඔවුහු මෙය එක දුරකථන ඇමතුමකින් කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බිත්තර නිෂ්පාදකයන් දෙතුන් දෙනා හැරුණු විට සෙසු කුකුළු ෆාම් දහස් ගණනක් ඉහත සඳහන් ව්‍යාපාරික කාටලය සමග ගනුදෙනු කරති. උදේට දුරකථනය ඉදිරිපිට වාඩිවෙන බිත්තර කාටලය එදා දවසේ බිත්තර මිල නියම කර මිලියන ගණනක් වූ මුළු මහත් බිත්තර තොගයම කුලියට ගනිති. එතැන් සිට තමන්ට අවශ්‍ය මුදලට බිත්තර විකිණීමට ඔවුනට පුළුවන. බිත්තරයක තොග ගැනුම් මිල රුපියල් 30 ක්ව තිබූ කාලයේදී ඒ කාටලය බිත්තරයක් රුපියල් 36 බැගින් අතරමැදියන්ට විකුණා තිබිණ. අතරමැදියෝ එම බිත්තර රුපියල් 37 බැගින් සිල්ලර වෙළඳුන්ට වික්කාහ. සිල්ලර වෙළෙන්දෝ රුපියල් 41 බැගින් ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා කියන පරිදි සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුව වැය කරන වර්තමාන මුදල රුපියල් 34 කි. එයට තොග වෙළෙඳුන්ගේ ලාභය සහ සිල්ලර වෙළෙඳුන්ගේ ලාභය වශයෙන් රුපියල් 4.50 බැගින් එකතු කළත් බිත්තරයක විකුණුම් මිල රුපියල් 43 ක් විය හැකිය. බිත්තරයක නිෂ්පාදන මිල අඩු කිරීමට කුකුල් ෆාම්කාරයාට පුළුවන. ඒ කිකිළියන්ට අවශ්‍ය විටමින් වර්ග, හෝමෝන වර්ග අඩුවෙන් දීමෙනි. මෙසේ විටමින් සහ හෝමෝන වර්ග අඩුකළ විට බිත්තරයේ කහ මදය ඉතා දුර්වල ලා පැහැයක් ගනී. එසේම බිත්තරයේ ගුණාත්මකභාවයද පහළ බහී. බිත්තර මිල අඩුකළ යුතු යැයි කුකුල් ෆාම්කාරයන්ට දැඩිව කියන විට ඔවුන් බිත්තරයේ ගුණාත්මකභාවය ඉහත සඳහන් ආකාරයෙන් අඩු කිරීම සම්බන්ධයෙන් පශු සම්පත් මණ්ඩලය හෝ පශු සම්පත්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිසියම් නියාමනයකට පිවිසිය යුතුය.

ශ්‍රී ලංකාවේ බිත්තර මිල අඩු කිරීම සඳහා පිට රටින් බිත්තර ගෙන්වීමේ වෑයමක් පවතී. මෙයට අවුරුදු බොහෝ ගණනකට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ සමයේදී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන ලදී. ඒවා ඉතා අඩු පාලන මිලකට විකුණනු ලැබීය. දැනට තිබෙන බිත්තර මිල පහත හෙළීම සඳහා පිට රටින් බිත්තර ගෙන්වීමට රජය වෑයම් කරන විට බිත්තර ව්‍යාපාරිකයන් කියන්නේ පිට රටවල කුරුලු උණ තිබෙන බවය. මෙවිට බිත්තර වෙළෙඳාම පාලනය කරන කට්ටියගේ කට තැලීමට අපට සිත් වෙයි. ශ්‍රී ලංකාවේ බිත්තර කර්මාන්තයට ස්ථිර වශයෙන්ම නියාමනයක් අවශ්‍යය. ශ්‍රී ලංකාව තුළ කුකුළු ෆාම් කොපමණ තිබේද යන්න ආණ්ඩුවවත් හරියට දන්නේ නැත. කුකුළු මස් සහ මාළු වර්ග කෙරෙහි තිබූ ප්‍රෝටීන් බලාපොරොත්තුව සුන්වී ඇති මේ මොහොතේදී බිත්තරයෙන් ලබාගත හැකි ප්‍රෝටීනය ඉතාම අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව පොරොන්දු විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment