බිත්තර බිඳෙයි : මිල ගැසට්ටුවට අතුරු තහනමක්

161

අධිකාරියේ මිලට සංගම් කැමැති නැහැ

බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල සුදු බිත්තරයක් රුපියල් 42 කටත්, රතු බිත්තරයක් රුපියල් 44 ලෙසටත් පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය ඊයේ (15 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

පාරිභෝගික අධිකාරිය නියම කළ එම මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව පෙත්සම්කාර බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව එම පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කළේය. බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් අභියෝගයට ලක්කරමින් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් විභාගය ලබන පෙබරවාරි 6 වැනිදා ආරම්භ කිරීමට ද ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ. පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර වලට උපරිම අලෙවි මිලක් නියම කරමින් පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් තම අධිකරණය විසින් පෙරේදා (14 දා) නිකුත් කළ අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වන බව ද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment