හෝටල් කර්මාන්තය නූල කැඩිච්ච සරුංගලය වගේ
දැනට තියෙන ආපනශාලාවලින් හතරෙන් තුනක්ම පාරිභෝගිකයන් සූරා කනවා
සමහර ආපනශාලා හිමියෝ කොත්තුව, රයිස් එක රුපියල් 1800ටත් විකුණනවා
බිත්තර ආප්පයක් රුපියල් 50ට දෙන්න පුළුවන්
පාන් ගෙඩියටත් පාලන මිලක් නෑ
ආපනශාලා අස්සේ මිනිස් ජාවාරමකුත්
කිරි තේකක් රුපියල් 80ට ප්ලේන්ටියක් රුපියල් 30ට දෙන්න පුළුවන්
රුපියල් 200ට කෑම පැකට් එකක් දෙන්න පුළුවන්
හරි අපූරු පුවතක් පසුගිය සතියේ කන වැකිණි. ඒ වෙන් අන් කවරක් නොව ආණ්ඩුව විසින් ජනතාවට අඩුවට කන්නට ආපනශාලා රට පුරාම ආරම්භ කරන කතාවකි. එම පුවත ඇසූ සැණින්ම බොහෝ දෙනෙකුට නිතැතින්ම කියැවුණේ “ඒක හරි හොඳ වැඩක්” යන්න ය. ඇත්තටම ඒ කතාව හරිය. ආණ්ඩුවේ තීරණය නිවැරදිය. එයට හේතුව මෙරට අන්කවරදාකටත් වැඩියෙන් ආපනශාලා හිමියන් විසින් පාරිභෝගිකයන් ගසාකන තත්ත්වයටම පත්වීමය.
මෙරට විවිධ කාලයන් හිදී හිටි හැටියේම භාණ්ඩ මිල අහස උසට ගියද තවත් කාලයක ඉහළ ගිය භාණ්ඩ මිල නැවත පහත වැටිණි. ගෑස්, පාන් පිටි, බිත්තර, තෙල්, සීනි, අල, ලූනු එසේ ඉහළ ගිය භාණ්ඩයන් ය. උදාහරණයකට බිත්තර මිල පිළිබඳව සැලකීමේදී පසුගිය කාලයේ බිත්තර මිල කිහිපවතාවකදී ඉහළ ගියේය. හරියටම කිව්වොත් බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගිය කාලයක් තිබුණි. පාන්පිටි මිල ඇතුළු සෙසු ආහාර ද්‍රව්‍ය මිල ගණන්ද එසේ ඉහළ ගියේය. දැන් බිත්තරයක මිල රුපියල් 25ත් 30ත් අතර ය. පසුගියදා ගෑස් මිල යළි ඉහළ ගිය ද මේ වනවිට පාන්පිටි ඇතුළු සෙසු ආහාර වර්ගවල මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී ඇත්තේ ය. එහෙත් මෙරට භාණ්ඩ මිල වැඩිවීමේදී කිඹුල් කඳුළු හෙළන හෝටල් හිමියන්, වෙළඳුන් එම භාණ්ඩ මිල අඩුවූ විට නම් ‘මීක්’ නැත. භාණ්ඩ මිල වැඩිවූ දිනම මාධ්‍යහමු තියන මේ උදවිය භාණ්ඩ මිල අඩුවූ පසු ආහාර මිල ගණන් අඩුකිරීමට පෙළඹෙන්නේ ද නැත. අප මේ කතා කරන්නට යෙදෙන්නේ ද හෝටල් කෙරුවාවේ අසාධාරණ මිල ගණන් පාරිභෝගිකයාගෙන් අයකරමින් සිදුකරන තවත් කූට උපායන් ගැනය. තවත් අයුරකින් කිවහොත් පාරිභෝගිකයාගේ මුදල් සූරාකන ආපනශාලා හිමියන්ගේ පහත් ක්‍රියාවන් ගැනය.
ඉන්දියාවෙන් විසිට් වීසා වලට ඇවිත් සේවකයෝ විදිහට හෝටල් වල වැඩකරනවා
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්
ගිනි ගණන් වලට විකිණෙන හෝටල් කෑම
එක්තරා නගරයක පිහිටි හෝටලයක ආහාර මිල ගණන් සඳහන් වූ පුවරුවක මිල ගණන් සඳහන් වී තිබුණේ මෙසේය. ඒ අනුව ප්ලේන්ටියක් රු.50කි, කිරි තේ එකක් රු.130කි, බිත්තර පාන් එකක් රු.80කි, මාළු පාන් එකක් රු.80කි, එළවළු රොටියක් රු.100 කි, එළවළු බත් එකක් රු. 350කි, මාළු බත් එකක් රු. 400 කි, කුකුළු මස් සහිත බත් එකක් රු. 450කි, බිත්තර ආප්පයක මිල රු. 100 කි, ආප්පයක් රු.40 කි, පරාටා එකක් රු. 40 කි, බිත්තර රොටියක් රු.120කි, චිකන් කොත්තු (ෆුල්) රු. 850කි, බිත්තර කොත්තුව රු. 650 කි, ෆ්‍රයිඩ් රයිස් එකක් රු.850-1300ත් අතර විය. හෝටලක මෙවැනි ආහාර පාන මිල දර්ශනයක් දුටුවකුට සිතෙන්නේ කනවාද නොකනවාද යන්න ය.
එවැනි මිල දර්ශනයක් ද නොමැති ආපනශාලා මෙරට ඕනෑ තරම් ය. එසේ අප කියන්නේ පසුගිය කාලය තුළ අප සංචාරය කළ නගර කිහිපයකම ආපනශාලාවල මිල ගණන් තීරකයා වූයේ එම හෝටලයේම වේටර්වරයකු වීම නිසාය. ඇතැම් විට හිතට එන ගණන් පවා කිසිදු බයක් සැකක් නොමැතිව ඔවුන් කියාපාන්නේ කැල්කියුලේටරයකද ඉක්මන පරදන ආකාරයටය. “ගාණ හයසිය පනහයි” තුන්දෙනකු කෙටි කෑම (ෂෝර්ටීස්) කා තේ බීම සඳහා වූ බිලක් වේටර්වරයකු හිතෙන් හදා කිව්වේ එසේය. හෝටල් හිමියන් ගාණ කියූ විට බොහෝ අයට සිදුවන්නේ හූල්ලන්නටය. වමාරන්නට ය. කාපු කෑම ඇඟට දිරවන්නටත් කලින් පිච්චෙන්නේ හෝටල් හිමියාගේ මේ හිතුමතේ ගණන් හැදිල්ලට ය. මෙම ප්‍රශ්නයේ බැරෑරුම්ම තැන අසාධාරණ මිල ගණන් මෙන්ම පාරිභෝගිකයාට ලැබෙන ආහාරද නිසි ප්‍රමිතියක් නොමැතිවීමය. එහෙයින් අසාධාරණ මිල ගණන් ගැන පමණක් ලිවීම පාරිභෝගිකයන්ට කරන බලවත් අසාධාරණයක් බැවින් හෝටල් කෙරුවාවේ කෑම මාෆියාවද අප හෙළි කරන්නෙමු.
නමට විතරක් බිත්තර රොටි
මේ එවැනිම හෝටලයක අප ගිය විටෙක වේටර්වරයකු කියූ කතාවකි.
“මහත්තයාලට බිත්තර රොටිද ඕනෑ.. හැබැයි බිත්තර රොටි තියෙන්නෙ කලින් දාපු ඒවා…
“ඇයි කලින් දාලා තියෙන්නේ… ඒව එපා.. අපට උණුවෙන් ගේන්න” ඔහුගේ කතාවට අප හා ගිය අයෙක් එසේ ප්‍රතිචාර දැක්වන්නට විය.
“ඔයාල ඉල්ලන හදිස්සියට අපට දෙන්න බැරි නිසා අපි කලින් බඩු රෙඩි කරනවා. කපල ගේන්න ද නැතිනම් නිකන් ගේන්නද…” නැති හදිස්සියක් පෙන්නන ඔහු රෙජිෆෝම් පෙට්ටිටක බහා තිබූ බිත්තර රොටි කිහිපයක් ගෙන පිඟන් වලට දමා හොදි දීසි දෙකක්ද මේසය උඩින් තබා යන්නට ගියේ ය.
බිත්තර රොටි ඉල්ලූ අපට ඔහු සැපයූවේ බිත්තර රොටිද නැතිනම් නිකන් රොටිද යන්න හිතාගන්නටත් බැරිය. පෙනුමට බිත්තර රොටියක ස්වරූපය ගත්තද එය අනුභවයේදී එයට බිත්තරයක් තබා බිත්තර පෙන්වූ එකක් බව අපට අවබෝධ වූයේ පාන්පිටි ගුලියක රස පමණක් අපට දැනුණු නිසා ය.
“කෝ බන් මේකේ බිත්තර” අපේ ගමන් සගයකුට ඉබේටම මෙන් කියැවිණි.
අප සිටි තැනට යාබදව පිහිටි මේසයක වාඩිවී සිටි තවත් දෙදෙනෙක්ද එහි විය. ඔවුන්ද ඒ වනවිට වේටර්වරයකුට බිත්තර ආප්ප ගෙන ඒමට ඕඩර් කර තිබිණි.
“අනිවාර්යයෙන්ම මෙයාලා මේකට බිත්තරයක් දාන්නේ නැහැ.” ඔවුන්ට කෑමට ගෙන ආ බිත්තර ආප්පයක් පෙන්වා එම මේසයේ සිටි අයකු අපේ කතාවට අඩුවැඩිය එසේ එක් කළේය.
මේ වනවිට හෝටල් බොහෝමයක සිදුවන ආහාර මාෆියාව ගැන ඔහු දන්නා බැවින් ආපනශාලාවල සිදුකෙරෙන මාෆියාවන් හේ අපට විස්තර කළේ මෙසේ ය.
රයිස්, ආප්ප, කොත්තු වලටත් ඒ සෙතේමලු
“මේ අය බිත්තර ටික කඩලා භාජනයක දමාගෙන ඉන්නේ. පස්සේ රොටිය හදලා අර භාජනයේ කඩාගෙන තියෙන බිත්තර වලින් පොඩි හැන්දක් දානවා. මේක මේ හරියේ කෙරෙන මාෆියාවක්. මිනිස්සු ඇන්දවීමක්. පස්සේ ඒ රොටි ටික පෙට්ටියක දාලා තියාගන්නවා. එන අයට දෙන්නේ ඒ රොටි තමා. ඔය රොටිවල බිත්තරයක් තියා ඒකෙන් භාගයක්වත් නැහැ. මේ කඩේ විතරක් නෙවෙයි. අනිත් කඩවලත් මේක තමයි කරන්නේ. බිත්තර ආප්ප දාන්නෙත්, කොත්තු දාන්නෙත්, රයිස් දාන්නෙත් ඔහොමම තමයි”
ඔහුගේ එම කතාව ඇත්ත ය. රයිස් එකකට යොදන බිත්තර ප්‍රමාණය ඇතැම් හෝටල් හිමියෝ අඩුකරමින් එහි වාසිය ලබාගනිති. දිවයිනේ බොහෝ ආපනශාලා රැසකම මේ වනවිට අනුගමනය කරන්නේ බිත්තර දෙකක් අවශ්‍ය එකට එකක් පමණක් දැමීමය. නැතහොත් පෙර කී පරිදි කලින් හෝටල් හිමියන් විසින් සාදාගන්නා ලද බිත්තර මිශ්‍රණයෙන් හැන්දක් පමණ දැමීමය. එළවළු ගිනි ගණන් මේ කාලය තුළ එළවළු දමන්නේද ඉතා අඩුවෙන් බව ආපනශාලාවල රයිස්, කොත්තු දමන ආකාරය නිරීක්‍ෂණය කළහොත් වඩාත් පැහැදිලි වනු ඇත. එහෙත් කොතරම් බිත්තර, එළවළු හා අඩුවැඩිය අඩුවෙන් දැම්මද ඔවුන්ගේ මිල ගණන් වල නම් කිසිදු අඩුවක් නැත.
ආප්ප, රයිස්, කොත්තු, බිත්තර රොටි දාන්න හෝටල් හිමියෝ අමුතුම සෙල්ලමකුත් පටන් අරන්
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්
උත්සව සමයට ගණන් උස්සන හෝටල් කෑම
උත්සව සමයේ මෙරට සෑම නගරයක් පාසාම පිහිටා ඇති හෝටල්වල මේ කියන බිස්නස් එක ආපනශාලා හිමියෝ ගජරාමෙටම සිදුකරගෙන යන්නාහ. සිංහල හින්දු අලුත් අවුරුද්දට බඩු මුට්ටු මිලදී ගැනීමට නගරයට සේන්දු වන බොහෝ ජනයා හෝටලයකට ගොඩවන්නේ දහවල් කෑමට හෝ විඩාව සංසිඳුවා ගැනීමට තේ කෝප්පයක් හෝ පානය කර යෑමටය. එක්කෝ ෂෝර්ටීස් (කෙටි කෑම) එකක් කා සීත කළ බීම බෝතලයක් පානය කිරීමටය. එහෙත් අද වන විට හෝටලයකින් කනවා කියන්නේද සෙල්ලං කාරණයක් නම් නොවේ. එසේ අප කියන්නේ උත්සව සමයට හෝටල්කරුවන්ගේ ‘හොද්ද බොර’ බව ඔවුහු හොඳින් දන්නා බැවිනි. ඔවුන් කරන්නේ උත්සව සමයටම කියා අමුතුම ජාතියේ ආහාර සඳහා මිල සූත්‍රයක් යොදාගනිමින් පාරිභෝගිකයාව සූරාකෑම ය.
වැඩි බිස්නස් නිසා අඩු ප්‍රමිතියට කෑම
පසුගිය දින කිහිපයේදීම උත්සව සමය නිමිති කරගනිමින් දිවයින පුරා පිහිටි ආපනශාලා පරීක්‍ෂාකිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා පාරිභෝගික අධිකාරිය කටයුතු කළහ. එහිදී බොහෝ හෝටල් තුළ විකිණීමට තබා තිබූ ආහාර වර්ග වලින් වැඩිමනක් ආහාර මනුෂ්‍ය ආහාරයට පවා නුසුදුසු ආහාර බවද එහිදී හෙළිවිය. බොහෝ ආහාර කලින් පිසින ලද ආහාර නැවත රත්කර අලෙවි කිරීමට තැබූ ඒවාය. අද වන විටද එසේ හෝටල් හිමියන් විසින් අසාධාරණව පාරිභෝගිකයා ගසාකන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් අපට මෙසේ කියන්නට විය.
“මේ හෝටල් හිමියන්ගේ ප්‍රශ්නය නිසා අපි සැලසුම් කළා කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පාරිභෝගිකයන්ට අඩු මිලට ආහාර පාන සපයන අලෙවි සැල් සියයක් ආරම්භ කරන්න. ඒක කිව්වේ පසුගිය 20 වැනිදා නාරාහේන්පිටදී. ඒක මම කියල දවස් දහයකට පස්සේ අප්‍රේල් 01දා සිට රජය විසින් නාරාහේන්පිට පටන්ගත්තා අඩුමිලට ආහාර ද්‍රව්‍ය ජනතාවට සපයාදෙන ව්‍යාපෘතිය. අපේ යෝජනාව ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කිරීම ගැන අප අගය කරනවා. ඒත් මෙරට ආපනශාලා පද්ධතිය තුළ මේ වෙනතුරු ප්ලේන්ටියක්, කිරි තේකක් අඩුමිලට දෙන්න බැරිවෙලා. අපි යෝජනා කරනවා මේ වනවිට කිරි තේකක් රුපියල් 80ට දෙන්න පුළුවන්. ප්ලේන්ටියක් රුපියල් 30ට දෙන්න පුළුවන්. රුපියල් 200ට කෑම පැකට් එකක් දෙන්න පුළුවන්. ඒත් දැන් කෑම එකක් හාරසීයක් පන්සීයක් වෙලා. රයිස් කොත්තු ගිනි ගණන්. එක එක මිල ගණන් යටතේ ආපනශාලා හිමියෝ අලෙවි කරනවා. උදාහරණයක් විදිහට දැන් බිත්තර මිල අඩුවෙලා. ඒත් බිත්තර රොටි, රයිස්, කොත්තු අඩුවෙලා නෑ. මේකට හේතුව මේ රටේ පාරිභෝගික පනත අනාගතයට ගැළපෙන විදිහට යාවත්කාලීන කරල නැති එක. ආණ්ඩුව කරන්න ඕන මේ ආපනශාලාවල ආහාර වලට මිල පාලනයක් යොදල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට යම් කාලසීමාවක් තුළ මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමයි. අද වනතුරු පොල් ගෙඩියේ මිල පාලනය කරගන්නත් බැරිවෙලා. තවම පොල් ගෙඩිය රුපියල් දෙසීයටත් වැඩියි. කිසිම ආණ්ඩුවක් තවමත් පාරිභෝගිකයා වෙනුවෙන් වැඩපිළිවෙළක් හදලා නෑ. ඒකට හේතුව ව්‍යාපාරිකයා ආණ්ඩුවටත් විපක්‍ෂයටත් මුදල් වියදම් කරනවා. මේ දෙගොල්ලොම කරන්නේ එයාල ආරක්‍ෂා කරන එක. අන්තිමට පාරිභෝගිකයා අසරණයි.”
උත්සව සමයට ආපනශාලා හිමියන් වෙනම ම මාෆියාවකද නිරත වන බවද අසේල සම්පත් පෙන්වා දෙයි. එබැවින් මේ දිනවල ප්‍රමිතියෙන් තොර ආහාර දිවයින පුරා පාරිභෝගිකයන් හට අලෙවි කරන බැවින් පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
“උත්සව කාලෙට තමයි පරණ කෑම ජාති ඔක්කොම විකුණන්න තියෙන කාලේ. අද වෙනකොට මේ ආහාර වර්ගවල ප්‍රමිතිය සොයාබලන්න කිසිම වැඩපිළිවෙළක් නෑ. දැන් බී ලූනු කිලෝවක් රුපියල් 100 – 120 වගේ වෙන්නේ. ඒත් සීනි සම්බල් පාන් කාලක මිල රුපියල් 10 කින්වත් අඩුකරලා නැහැ. අපි හඬ නගපු හින්ද තමයි කිරි පැකට් එක, යෝගට් එකක මිල හරි අඩු වුණේ. අපි කිවුවේ විදුලි බිලේ සහනය 20% අඩුවුණා නම් රජය සතු සමාගම්වල නිෂ්පාදන මිල පහත හෙළන්න කියලයි. ඒත් තාම ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරලා නෑ. එකෙන් ප්‍රයෝජනය ගන්නේ කූට වෙළඳුන් විතරයි.”
මේ දිනවල කූට වෙළඳුන් විසින් ඉහළ මිල ගණන් යටතේ ආහාර අලෙවි කරන බවද ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියයි.
“ආපනශාලා හිමියන්ගේ සභාපති වශයෙන් ආහාර සඳහා පාලන මිලක් ගේන්න මම දිගින් දිගටම ඉල්ලා සිටියා. ඇත්තටම මේ වෙනකොට පාරිභෝගිකයා සූරාකන හෝටල් තමයි තියෙන්නේ හතරෙන් තුනක්ම. අපි මේ වෙනකොට ප්ලේන්ටියක මිල රුපියල් 50ට ගෙනත් තිබෙනවා. හැබැයි කිරි පිටි මිල දැන් නැවතත් වැඩිවුණා. දැන් පාන් ගෙඩියටත් පාලන මිලක් නෑ. ගිය ආණ්ඩුවෙන් නියමිත බර ගෙනාවට ඒකට පාලන මිලක් ගෙනාවේ නැහැ. අපි කියන්නේ බරයි මිලයි දෙකම පාලනය කිරීම අවශ්‍යයි. නියමිත මිලක් නැති කමෙන් බේකරි හිමියන් ලොකු ලාබයක් ලබනවා. ඇත්තටම බිත්තර ආප්පයක් රුපියල් 50ට දෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ හෝටල් කර්මාන්තය කියන්නේ නූල කැඩිච්ච සරුංගලය වගේ. එයාලා හිතූ හිතූ ගණන්වලට ආහාර විකුණනවා. වෙළඳපොළේ කීරි සම්බා එක එක මිල ගණන්. අද රුපියල් 275යි. හෙට තවත් ගාණක්. සීනි මිල වුණත් එහෙමයි. එක පාලන මිලක පවත්වාගෙන යන්න රජයට බැහැ. අද පාරිභෝගික අධිකාරියත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. හරියටම කෑමවල මිල කිව්වොත් භාග රයිස් එකක් රුපියල් හාරසිය පනහට දෙන්න පුළුවන්. කොත්තුවක් හාරසිය පනහට දෙන්න පුළුවන්. සම්පූර්ණ කොත්තුවක් හයසිය පනහට දෙන්න පුළුවන්. ඒත් සමහර ආපනශාලා හිමියෝ කොත්තුව රයිස් එක රුපියල් 1800ක මිලටත් පාරිභෝගිකයාට අලෙවි කරනවා. භාග රයිස් එකක් හාරසිය පනහට විකිණුවත් වෙළෙන්දාට ඒකෙන් රුපියල් 150ක ශුද්ධ ලාභයක් තියෙනවා. මේ හෝටල් කර්මාන්තය ඇතුළේ පැහැදිලිවම කූට වෙළඳුන් ඉන්නවා. ඒකට හේතුව අපේ රටේ මේකට මිල නියාමනයක්, පාලන මිලක් නැතිකමයි. ඒ විතරක් නෙමෙයි මේ කර්මාන්තය ඇතුළේ මිනිස් ජාවාරම පවා සිදු කෙරෙනවා. ඉන්දියාවෙන් විසිට් වීසා මත මෙරටට ආපු අය පවා සේවකයෝ විදිහට හෝටල් වල වැඩකරනවා. බුරියානි හදන ගොඩක් හෝටල් වල ඉන්නේ එහෙම අය. මේක තනිකරම මිනිස් ජාවාරමක්. අවසාන වශයෙන් මම කියන්නේ අඩුවූ බිත්තර මිලේ සහනය පාරිභෝගිකයාට ලබාදිය යුතුයි. අපි ඉල්ලන්නේ ආහාර පනත හැකි ඉක්මනින්ම සංශෝධනය කරන්න කියලයි.”
වෙළෙන්දා හා පාරිභෝගිකයා කියන දෙපාර්ශ්වය ගසට පොත්ත මෙන් සමීපය. වෙළෙන්දා නොමැති නම් පාරිභෝගිකයාට පැවැත්මක් නැත. පාරිභෝගිකයා නොමැතිනම් වෙළෙන්දාට ද පැවැත්මක් නැත. මේ කියන දෙපාර්ශ්වයටම ජීවත්වීමට නම් මුදල් අවශ්‍යය. එහෙත් අපේ රටේ වෙළෙන්දන් ලාභය ලැබීමේ අරමුණින් සිදුකරන්නේ පාරිභෝගිකයාව ඇන්දවීමය. නැත්නම් රැවටීමය. අයුතු ලාභය සොයන්නට ඔවුන් මිරිකන්නේ පාරිභෝගිකයාගේ බොටුවම ය. ඇත්තටම රජය මගින් මිල පාලනයක්, නීතියක් හරි හැටි ක්‍රියාක්මක නොවන මෙවැනි කාලයක මීට වඩා දෙයක් ආපනශාලා හිමියන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.
රමින්ද මාවතගේ