බිමටම සමතලා වුණු රටක සහන දෙන හැටි

278

නොයෙකුත් දිළිඳු සහන වැඩසටහන් කලින් කලට අප රටේ ක්‍රියාත්මක වී ඇත. මේ සෑම වැඩසටහනක්ම අඩුවැඩි වශයෙන් දේශපාලනීකරණය වූ බව ද රහසක් නොවේ. මේ නිසාම නුසුදුසු අයට ප්‍රතිලාභ ලැබීමත් සුදුස්සන්ට සහන නොලැබීමත් සිදුව ඇත. එහෙත් ඇත්තවශයෙන්ම දිළිඳු සහන වැඩසටහනකින් ප්‍රතිලාභ ලැබිය යුතු වන්නේ එම සහන ලැබිය යුතු අත්‍යවශ්‍යම පිරිස්ය. එසේ නොමැති වීමෙන් වන්නේ එම සහන සැලසීමෙන් රජය අපේක්ෂා කරන අරමුණු ඉටු නොවීමයි. මෙය ආර්ථික අර්බුදය හමුවේ පොදුවේ සියලු දෙනාම පීඩාවට පත්ව සිටින කාලයකි. මේ අතර විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ජීවත්වීමේ ප්‍රශ්නය වඩාත් උග්‍ර බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජයේ බහුතරයකට අමාරු තත්ත්වයකට පත්ව සිටියත් රජයට පවා ඒ සියලු දෙනාටම සහන සැලසීමට අපහසුය. ඒ නිසා ඒ අය අතරිනුත් වඩාත්ම අමාරු පිරිස් එනම් දිළිඳු සහ අවදානමට ලක් වන්නන් හඳුනාගෙන ඒ අයට සහන සැලසීමට සිදු වේ.

මේ පසුබිම තුළ දැනට පවතින සියලු සුබසාධන සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනයට ලක්කර සැබෑ ලෙසම සහන සැලසිය යුතු දිළිඳු සහ අවදානමට ලක් වන්නන් හඳුනාගත යුතුව ඇත. අතීතයේ පැවති ජනසවිය වැඩසටහනට මෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වන සමෘද්ධි ඇතුළු රජයේ සියලු සහනාධාර වැඩසටහන් අඩුවැඩි වශයෙන් දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා තිබේ. ඒ නිසා ඇත්තවශයෙන්ම වන්නේ එම දිළිඳු සහන වැඩසටහන්වල අරමුණු ඉටු නොවී මහජන බදු මුදල් අවභාවිත වීමයි. මේ නිසා රට මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව බලවත් ලෙස පීඩාවට පත්ව සිටින මොහොතක මේ සහනාධාර මුදල් අවභාවිත වීමට ඉඩ දිය යුතු නොවේ. බදු ආදායම් කඩා වැටී රජයට මේ මොහොතේ මුදල් ද නැත. අනිත් අතට ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන මානුෂීය ආධාර අත්‍යවශ්‍යම අයට ලැබෙනු දැකීම එම ආධාර ලබාදෙන සංවිධානවල අපේක්ෂාවයි. මෙය පෙර නොවූ විරූ ලෙස ජනයා පීඩාවට පත්ව සිටින මොහොතක් නිසා සුබසාධක ප්‍රතිලාභ මුදල් නුසුදුසු අයට ද ලැබී එම සහන ලැබිය යුතු අත්‍යවශ්‍ය පිරිසකට ඒවා නොලැබී යන තත්ත්වය වළක්වා ගත යුතුව ඇත. මේ ගැන රජයේ ද අවධානය ලක්ව ඒ ගැන පියවර ගනිමින් තිබේ. එනම් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමේ වැඩසටහනක් රජය විසින් දැනටමත් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඉකුත් සැප්තැම්බර් 05 වැනිදා මුදල් අමාත්‍යංශයේ දී මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි දී ප්‍රකාශයට පත් වූ පරිදි 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7 (1) වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැනට පවතින මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ දනටමත් සුබසාධක ප්‍රතිලාභ ගෙවමින් තිබේ. එසේම මෙම සහනාධාර අපේක්ෂාවෙන් තවත් පිරිසක් පොරොත්තු ලේඛනවල ද සිටී. රට මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදය හමුවේ මේ පිරිස් තවත් අමාරු තත්ත්වයට පත්ව ඇත. එසේම මේ පිරිස්වලට අමතරව මේ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සහන අපේක්ෂා කරන අලුත් පිරිසක් ද සිටී. සුබසාධක සහනාධාර ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනාගැනීමේ රජයේ නව වැඩසටහන යටතේ මේ සියලු පිරිස් ඉලක්ක කර ඇත. මේ වැඩසටහන දියත් කරන්නේ රජයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසිනි. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමේ මෙම වැඩසටහනට පවුල් මිලයන 3.9කට අධික පිරිසක් සහනාධාර සඳහා අයැදුම් කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි. සහන අපේක්ෂා කරන අයට අයැදුම් කරන ලෙස රජය පුවත්පත් නිවේදන පළ කළ අතර ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහනට අයැදුම්පත් කැඳවීමේ දිනය ඔක්තෝබර් මස 15 දක්වා තවත් සති දෙකක් දීර්ඝ කර ඇත. මේ අනුව මේ සඳහා තවමත් අයැදුම් නොකළ අයට ද මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සැලසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගියදා මෙරටට පැමිණි දූත මණ්ඩලය විසින් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත් කළ නිල නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘දුප්පතුන්ට සහ අවදානමට ලක් විය හැකි ජනතාවට වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා සමාජ වියදම් ඉහළ නැංවීමෙන් සහ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය සහ ප්‍රතිලාභීන් ඉලක්ක කිරීම වැඩි දියුණු කිරීම.’

‘ප්‍රතිලාභීන් ඉලක්ක කිරීම වැඩි දියුණු කිරීම’ යන්න මෙහි සඳහන් වැදගත්ම කරුණයි. එනම් සහන දිය යුත්තේ සහන ලැබිය යුතු අත්‍යවශ්‍යම කණ්ඩායම්වලට යන්නයි. මේ වැඩසටහන පිළිබඳ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් බී. විජයරත්න මහතා විසින් කරුණු පැහැදිලි කළ එම වැඩසටහන පියවර හයකින් සමන්විතය. එම ප්‍රධාන පියවරයන් මෙසේය.

  1. වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම
  2. අයැදුම්පත් පද්ධතිගත කිරීම
  3. ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම
  4. තෝරා ගැනීමේ නිර්ණායක සහ දර්ශක අනුව ලකුණු ලබා දීම
  5. අභියාචනා / විරෝධතා කැඳවීම
  6. ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම

මෙහි පළමු පියවර ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2022.08.30 දින ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කර තිබේ. එම පුවත්පත් දැන්වීමේ සඳහන් ආදර්ශ ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පතක් අයැදුම්කරුවන් විසින් සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දිය යුතුය. එහි අදාළ තොරතුරු ඇතුළත් කර නව අයැදුම්කරුවෙක්ද යන්නත් සඳහන් කර තම අයැදුම්පත අයැදුම්කරු විසින් අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම/ සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ සහතික කිරීමක් ද සහිතව අදාළ නිලධාරියා හරහා හෝ අයැදුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදිය යුතු වේ.

දෙවන පියවර යටතේ කරන්නේ ලැබුණු අයැදුම්පත් පද්ධතිගත කිරීමයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සංවර්ධනය කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු සමඟ කටයුතු කිරීමට සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අනුයුක්ත කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු නිලධාරීන් විසින් ලැබී ඇති අයැදුම්පත් පද්ධතිය මඟින් ලබා දී ඇති යොමුව (ලින්ක්) හරහා පරිගණක ගත කරනු ලබයි. සියලු ඉල්ලුම්පත් සඳහා කිව්ආර් කේතයක් වෙන් කරයි.

බිමටම සමතලා වුණු රටක සහන දෙන හැටි

තුන්වන පියවර වන්නේ ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක්රැස් කිරීමයි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දත්ත එක් රැස්කිරීම සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් (තේරීම් කමිටු) තම පෞද්ගලික ජංගම දුරකථනය භාවිත කරමින් අයැදුම්කරුවන්ගේ ගෘහ ඒකක වෙත ගොස් ජංගම දුරකථන යෙදවුමක් (මොබයිල් ඇප්) භාවිතා කරමින් දත්ත එක්රැස් කර පද්ධතිගත කිරීම මෙම තුන්වන පියවරේ දී සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙලෙස දත්ත එක්රැස් කරන ලද අයැදුම්කරුවන්ගේ නාම ලේඛනයට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය හිමි වූ පසු එම නාම ලේඛනය පද්ධතිගත වේ. ගෘහ ඒකක මට්ටමින් දත්ත එක්රැස් කිරීමේ මෙම පියවර සැප්තැම්බර් 30 වන දින සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

හතරවන පියවර යටතේ තෝරා ගැනීමේ නිර්ණායක සහ දර්ශක අනුව ලකුණු ලබා දෙනු ලබයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පළ කළ 2019.06.20 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රධාන නිර්ණායක 6 ක් (අධ්‍යාපනය/ සෞඛ්‍ය/ ආර්ථික මට්ටම/ වත්කම්/ නිවාස තත්ත්වය/ පවුලේ ජන විකාශනය) සහ ඊට අදාළ දර්ශක 22ක් යටතේ දරිද්‍රතාව ගණනය කිරීම සූත්‍රගත ක්‍රමයකට සකස් කර ඇත. සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මගින් දරිද්‍රතාව ගණනය කිරීමේ සූත්‍රයට අනුව සෑම අයැදුම්කරුවෙකුටම ලකුණු ලබා දෙනු ලබයි. එම දරිද්‍රතා ලකුණු මත සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසුකම් ලැබූ තැනැත්තන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලබයි.

පස්වන පියවරට අනුව අභියාචන/ විරෝධතා කැඳවීමට ඉඩ ලැබේ. සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ විරෝධතා සහ අභියාචනා කැඳවීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක්ද මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. මේ අනුව යම් පුද්ගලයෙකුට හෝ වෙනත් අයැදුම්කරුවෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති නම් ලැයිස්තුවල සඳහන් නම් වලට විරෝධතා පෑමක් හෝ හිමිකම් පෑමක් ඉදිරිපත් කළ හැකිය. අභියාචන කමිටු විසින් අදාළ විරෝධතා හෝ හිමිකම්පෑම සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ විමර්ශන කොට තීරණය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දිය යුතු වේ. හය පියවර ලෙස ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම කරනු ලබයි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ අවසන් ප්‍රතිලාභී නම් ලැයිස්තුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු අතර එම මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කරයි. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනාගැනීමේ වැඩසටහන මේ ආකාරයට දියත් වේ. මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි නොවීම සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(1)

වගන්තිය යටතේ ඉදිරි රාජ්‍ය ප්‍රතිලාභ අහිමිවිමට හේතුවක් විය හැකිය. මේ වැඩසටහනට සහාය ලබාදෙන පාර්ශ්ව ආයතන රැසකි. ඒවා නම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ මහලේකම් කාර්යාලය, ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ නියෝජිතායතනයයි. ඇත්තවශයෙන්ම සහන ලැබිය යුතු අය මෙවැනි නිසි විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් හඳුනාගෙන සහන ලබා දීමෙන් මේ සහන සඳහා වැය කරන මුදල් වලින් නිසි ප්‍රතිඵල ලැබේ. එහෙත් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා තිබුණේ සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යෑමේ අවදානමක් නැති බවයි.

සමාජ සුබසාධනය කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නැහැ
– වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ

බිමටම සමතලා වුණු රටක සහන දෙන හැටි

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යෑමේ අවදානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ තවදුරටත් ප්‍රතිලාභ ලැබිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීම පමණක් මෙමගින් සිදු කෙරෙන බවයි. රජය කිසිදු අවස්ථාවක සමාජ සුබ සාධනය කප්පාදු කිරීමට සූදානම් නැහැ. සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ අයැදුම්පත් කැඳවීමේ දිනය ඔක්තෝබර් මස 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනවල සිටින අයැදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචියට ඇතුළත්වීම අනිවාර්යයි. මේ සඳහා අයැදුම් කිරීමට සියලු අයැදුම්කරුවන් ආදර්ශ අයැදුම්පත් පුරවා තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු ය. වැඩි විස්තර 0112 – 151481 අංකයෙන් හෝ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන් ලබාගත හැකියි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment