බියකරු – තාලේ – ඉස්පිරි – තාලේ

1624

ජා ඇල දෑලතුරේ පදිංචිව සිටි බුද්ධිකා හර්ෂනී මීට සති කිහිපයකට පෙර සිය විවාහ මංගල්‍යයේ දෙවැනි ගමන සඳහා නික්ම යන්නේ මහත් සතුටිනි. තමන් අරඹන අලුත් ජීවිතය සම්බන්ධයෙන් ඇය එදා බොහෝ සිහින මවන්නට ඇත. නූතන සමාජයේ විවාහ බන්ධනයකින් බැඳෙන නව යුවළක් සතු Future Plans නමැති ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සංකල්පයකි. විවාහ වීමට දින කිහිපයකට පෙර සිටම බුද්ධිකාට උදරාබාධයක් තිබිණ. ඇය පරීක්ෂා කළ සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ පිත්තාශයේ ගල් ඇති බැවින් සැත්කමකට ලක්කළ යුතු බව කියා වත්තල පෞද්ගලික රෝහලකදී එම සැත්කම සිදුකරන ලදී. දින කිහිපයකට පසු එනම් සිය උපන්දිනය දා බුද්ධිකා හර්ශනී මිය යයි. එම මරණයට හේතුව සැත්කමේදී හටගත් සංකූලතා බව හෙළිව තිබේ. මේ සැත්කමට වගකිව යුතු ශල්‍ය වෛද්‍යවරයාගේ ඉදිරි සැත්කම් සියල්ලම අත්හිටුවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි දැනගන්නට තිබේ. එසේම මේ වෛද්‍යවරයාගේ චැනල් සේවයද යම් ප්‍රමාණයකට බංකොලොත් වී තිබේලු. අපගේ වැටහීමට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළ යුතුව ඇත්තේ දොස්තරගේ වැඩ තහනම් කර සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වීමය. මේ දොස්තර මීට කලින්ද අවුල් සහගත ලෙස සැත්කම් කිහිපයක් කළ බවට කට කතාවක් ඇත. වැඩ තහනම් නොකර මේ දොස්තරගේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සමාන වන්නේ හිට්ලර් යුද පෙරමුණේ තබාගෙන ජර්මන් ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමටය. කොහොම වුණත් සියලු පරීක්ෂණ අවසානයේදී මේ දොස්තර මහතා ගොඩඑන බව අපට විශ්වාසය. ඒ සම්බන්ධයෙන් කිසිදු කුහක දුකක් අප තුළ නැත. මීට වැඩි අපරාධ කළ අපරාධකාරයෝ නිදහස් වී පරණ පුරුදු ගේම් ගසමින් ජීවත්වන අවස්ථා ඕනෑ තරම් තිබේ. මේ ළඟදී මේ රටේ සිදුවූ මිනීමැරුමක් ගැන අපූරු සිද්ධියක් හෙළිවිය. එනම්, ඒ මිනී මැරුම සම්බන්ධයෙන් ඊට කිසිසේත්ම සම්බන්ධයක් නැති දැනට හිරේ තපින මනුස්සයා ඊට කිසිසේත්ම සම්බන්ධ නැති බවත් සැබෑ අපරාධකාරයා පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවත්ය. මේ වනවිට පෙර කී අසරණයා මිනී මැරුමේ වරදකරු ලෙස තුන් අවුරුද්දක් හිරේ ලැග ඇත. ඒ තුන් අවුරුද්දේ හානිය පූරණය කර ඒ මනුස්සයාට වන්දියක් දෙන්නේ කොහොමද? ඉස්පිරිතාලයක් යනු ජීවිතය හා මරණය තීන්දු කරන තැනකි. අසනීප වී රෝහල්ගතවන කෙනකුට option දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් සුවපත් වී ගෙදර යෑමය. නැතහොත් මැරී පරලොව යෑමය. මේ option දෙකම දොස්තරවරුන් අතේ පවතී. මෙයට කලකට පෙර මීගමුව රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට පැමිණි ගැබිනි කාන්තාවක් දූෂණය කර මරා රෝහලේම උඩ තට්ටුවකින් පහතට හෙළුවේය. ඊට අමතරව රෝගී වම කකුල වෙනුවට නිරෝගී දකුණ කකුලත් රෝගී පෙනහල්ල වෙනුවට නිරෝගී අග්න්‍යාශයත් සැත්කමට ලක්කළ අවස්ථා බොහොමයක් තිබේ. එසේම සැත්කම කරන විට එම සැත්කමට පාවිච්චි කළ ගෝස් රෙදි, කපු පුළුන්, සැත්කම් පිහි හා කතුරු ශරීරය තුළම තබා තුවාලය වසන අවස්ථා නිතර දැනගන්නට තිබේ. දරු ප්‍රසූතිවලදී නොසැලකිලිමත් ලෙස ශල්‍ය අඬු යොදා ගැනීම නිසා මන්ද බුද්ධිකයන් වන දරුවන් විශාල ප්‍රමාණයක් මෙරට සිටිති. මේ ආකාරයෙන් වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මන්ද බුද්ධිකභාවයට පත්කරනු ලැබූ දැරියකට රුපියල් ලක්ෂ තුන්සීයක වන්දියක් ගෙවන ලෙසට ඒ පිළිබඳ නඩුව විභාග කළ උදාර ශ්‍රී ලාංකික විනිසුරුවරියක් නියම කළාය. එය ගෙවිය යුත්තේ දරු උපත සිදුකළ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය විසිනි. රෝහලක් යනු සුසාන භූමියක් නොවේ. රෝහලට ඇතුළත් කළ රෝගියකුට ගොක් කොළ සහ රැලි පාලම් සිහිනයෙන් පෙනෙත් නම් එය භයානක තත්ත්වයකි. අසනීප වී තමා යන්නේ රෝහලකට නොව පෝරකයට බව රෝහල්ගත වන රෝගියාට හැඟෙත් නම් එය නරක තත්ත්වයකි.

 ශ්‍රී ලංකාවේ හැම රෝහලක්ම නොසැලකිලිමත් බවින් හෝ මාරාත්මක ඡේතනාවකින් කටයුතු කරන බව අපගේ අදහස නොවේ. අසනීපයක් යනු ඇතැම් විට දොස්තරගේ කාරුණික වචනයකින් සුවපත් කළ හැකි දෙයකි. එහෙත් මේ රටේ ඇතැම් දොස්තරලා රෝගීන්ට කරුණාවෙන් කතා කරන්නේ චැනල් සේවයේදී පමණි. 1973 න් පසු මේ රටේ ජනතාවට චැනල් සේවය පුරුදු විය. ශ්‍රී ලංකාවේ පළමුවන චැනල් සෙන්ටර් එක කොළඹ කෞතුකාගාරය කිට්ටුව පිහිටා තිබේ. චැනල් සේවයට පුරුදු වූ ඇතැම් දොස්තරවරු රෝහල අමතක කර චැනල් එක පමණක්ම මතක තබාගෙන සිටින අවස්ථා තිබේ. සමහරවිට ඇතැම් රෝගීහු රජයේ රෝහලකට ඇතුළත් වීමට පෙර තමන් යෑමට අපේක්ෂා කරන වාට්ටුවේ දොස්තර පුද්ගලිකව චැනල් කරති. එවිට රෝගියාට වාට්ටුව තුළදී විශේෂ පහසුකම් ලැබේ. මේ රටේ විදුලි ඉංජිනේරු ඒකාධිකාරයක්, රේගු ඒකාධිකාරයක් මෙන්ම දොස්තර ඒකාධිකාරයක්ද තිබෙන බව අප මතක තබාගත යුතුය. මේ රටේ ජනතාව සැබෑ අරගල කළ යුත්තේ ආණ්ඩු පෙරළීමට වඩා පෙරකී තත්ත්වයන් වෙනස් කිරීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment