බියකරු සත්‍යයක් වෙත අප ඇහැරවනා මනෝ මේඝ

176

එක් පුද්ගලයකු තුළ විවිධ පෞරුෂ තත්ත්වයන් කිහිපයක් ක්‍රියාත්මක වීම යනු යම් තරමක සංකීර්ණ මානසික රෝග තත්ත්වයක් සේ ගැනෙන්නකි. මානසික වෛද්‍ය ක්ෂේත්‍රයෙහි මෙම රෝගය “විඝටන ක්ලමථ අක්‍රමිකතාවය” (Multiple Personality Disorder) යනුවෙන් හැඳින් වෙයි. මෙහි රෝග ලක්ෂණ වන්නේ එක් එක් අවස්ථාවල පරස්පර අදහස් හෝ හැසිරීම් දැක්වීමය. කොටින්ම ඔබ හොඳින් හඳුනන්නකු උදය කාලයේ ඔබ සමග හොඳින් කතා කොට සවස හමුවූ විට ඔබව නොහඳුනන සේ හැසිරුනහොත් හෝ එසේ නැතහොත් ඔබ විශ්මයට පත් කරන පුදුමාකාර තීන්දු තීරණ ගැනීම හා එකී තීරණයන්හි තදින්ම එල්බගෙන සිටීම ඔහු එකී “විඝටන ක්ලමථ අක්‍රමිකතාවය” නමැති රෝගයෙන් පෙළෙන්නකු සේ අපට හඳුනාගත හැක්කේය. එකී රෝගය සමාජයේ සාමාන්‍ය පුරුවැසියකුට වැළඳුනු කල්හි එහි බලපෑම සිදුවන්නේ සීමිත පිරිසකට වුවද එය දේශපාලකයකුට වැළඳුන කල උදාවන්නේ කවර තත්ත්වයක්ද? එකී රෝගී දේශපාලකයා ගන්නා අමනෝඥ තීන්දු මුළු රටක් හා ජනතාවකට ඍජුවම බලපාන කල්හි සිදුවන ව්‍යාසනය කෙතෙක් වේද?

පසුගියදා අප නැරඹූ “මනෝ මේඝ” නම් වේදිකා නාට්‍යය අපට ඇඟිල්ලෙන් ඇන කියන්නේ මේ බියකරු සත්‍යය යි. එහි රචක හා නිෂ්පාදක වන සරත්චන්ද්‍ර මුතුබණ්ඩා වෙත අපගේ කෘතඥතාවය අප පළ කළ යුත්තේ බොහෝ දෙනකු අත ගැසීමට පැකිළෙන මෙවැනි සංකීර්ණ විෂයයක් වේදිකාවට ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු නිර්භීතව ඇති නිසාම පමණක් නොව එකී හිතුවක්කාරකම බොහෝ දුරට ජය ගැනීමට ඔහු සමත්ව ඇති නිසාවෙනි. එසේම මනෝ මේඝ නාට්‍යයේ විෂයය, බහුතර ප්‍රේක්ෂකයනට ආගන්තුක සේම බොහෝ සාමාන්‍ය ප්‍රෙක්ෂකයාගේ ව්‍යවහාර දැනුමෙන් එහා ගිය එකක් බැවින් නාට්‍යය නරඹා අවසන් වූ පසුව අප තුළ ඇති වූ යම් ගැටලු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම යෝග්‍ය යැයි සිතමු.

අප විශ්වාස කරනා පරිදි මෙම සංකීර්ණ මනෝභාවය පිළිබඳ ප්‍රස්තූතය මින් පෙර කලා නිර්මාණයකට විෂය වී ඇත්තේ සිනමාව තුළ පමණි (නිවැරදි කිරීමකට යටත්ය). වේදිකාව මත මෙම සංසිද්ධිය සජීවී නිර්මාණයකට නැඟීමේදී නිර්මාණකරුවකු මුහුණ දෙන අභියෝග සුළුපටු නොවේ. සරත්චන්ද්‍ර නිර්මාණකරුවා මෙහිදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ලෙස අප දකින්නේ ප්‍රධාන භූමිකාව (දසරාජ) බහුවිධ පෞරුෂ එසේ නැතහොත් “විඝටන ක්ලමථ අක්‍රමිකතා” රෝගියකු බව ප්‍රේක්ෂකයා වෙහෙස කිරීමකින් තොරව හා නිර්මාණාත්මකව ඒත්තු ගැන්වීමේ කාර්යයයි. සරත්චන්ද්‍ර එය ඉතා ශූර ලෙස ජයගන්නේ අපේ පැරණි කෝලම් හා නාඩගම් සම්ප්‍රදායේ එන අංගයන් ඊට නිර්මාණාත්මක ලෙස යොදා ගැනීමෙනි. දසරාජ පෙලනා විවිධ පෞරුෂයන් කෝලම් වෙස් මුහුණු හා නර්තනයන් හරහා ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට ඔහු සමත් වෙයි. තමා තෝරාගත් සංකීර්ණ හා නීරස ප්‍රස්තූතය බෝරිං වීමකින් තොරව ප්‍රේක්ෂකාගාරය තුළට සන්නිවේදනය කිරීමට නිර්මාණකරුවා යොදාගන්නා උපක්‍රමයන් සාර්ථක වන්නේ ඒවා අපේ ජන ජීවිතය හා බද්ධව ඇති අපේම සංස්කෘතික මූලයන් වන හෙයිනි.

ඔහුගේම හෘද සාක්ෂිය එකී බහුවිධ මනෝභාවයන්ට නොහොත් මෙම රෝගයට එරෙහිව නැඟීසිටින බව සරත්චන්ද්‍ර අපට කියයි. (හෘද සාක්ෂිය නමැති භූමිකාව ඔහු අපට හඳුන්වා දෙන්නේ කැඩපතක් නිරූපණය කරන රංග භාණ්ඩයක් උපයෝගි කරගෙනය. සමාන රංග වස්ත්‍ර භාවිතාවට අමතරව මේ උපක්‍රමය ඵල දරන්නේ එකී භූමිකාව කවුදැයි ප්‍රේක්ෂකයා කල්තියාම වටහාගන්නා බැවිනි.) ඔහුගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ හෘද සාක්ෂිය, දසරාජට එරෙහි වීම තුළ අප වටහා ගතයුත්තේ මානසික රෝගියකු තුළ හෘද සාක්ෂිය නමැති මනෝභාවය පවතින බවද? නොඑසේ නම් මෙකී රෝගය ඔහු තුළ සෑම විටම නොපවතින බවද? මෙම කාරණා දෙකෙන් එකක් සත්‍යය ලෙස පිළිගැනීමට මෙහිදී අපට සිදුවෙයි.

මෙහි එන දසරාජ නම් චරිතය සරත්චන්ද්‍ර අපට ඉදිරිපත් කරන්නේ දේශපාලකයකු ලෙසය. මෙම මනෝ ව්‍යාධියෙන් පෙළෙන දේශපාලකයාගේ විවිධ බහු පෞරුෂයන් අප පෙර සඳහන් කළ රංග වින්‍යාසයන් උපයෝගි කරගෙන නිර්මාණකරුවා අපට කියාපෑවද දසරාජගේ දේශපාලන භූමිකාව තුළ ඔහුගේ මනෝ ව්‍යාධියේ හැසිරීම අපට දැනෙන සේ දැනවීමට ඔහු සමත් වී දැයි සුළු කුකුසක් අප තුළ ඇති වූයේ මන්දැයි කල්පනා කළයුතුය. දසරාජගේ මනෝ ව්‍යාධි හැසිරීම හා ඔහුගේ දේශපාලන භූමිකාව එකිනෙකට බද්ධ නොවී වියුක්තව පවතින බවක් අපට හැඟෙයි. ඔහුගේ විවිධ මනෝභාවයන් අතර විටෙක ෆැන්ටසි මනෝභාවයකද තවත් විටෙක ගේ (Gay) ස්වරූපයකින්ද ඔහු හැසිරෙන බව නිර්මාණකරු අපට පවසයි. එහෙත් දේශපාලනයේදී ඔහු හැසිරෙන්නේ දැඩි ඒකාධිපති ආඥාදායකයකු ලෙස පමණක් සේය.

දසරාජගේ දේශපාලන භූමිකාව තුළ ඔහු හැසිරෙන විලාසයෙන් ඔහුගේ මානසික රෝගී බවක් අපට හැඟවේද? (සාමාන්‍ය සමාජය තුළ මෙම මානසික ව්‍යාධියෙන් පෙළෙන රෝගීන් හඳුනා ගැනීමට අසීරු යැයි වෛද්‍ය මතය වන බවට මෙහිදී තර්කයක් තිබේ.) දසරාජගෙන් අප දකිනුයේ දැඩි තීරණ ගන්නා, ජනතාවට කෙතෙක් අහිතකර වුවද තමන්ගේ තීරණයන්හි දැඩිව එල්බගෙන සිටින්නා වූ හිතුවක්කාර දේශපාලකයෙකි. මෙහිදී අපට පැන නැඟෙන ප්‍රශ්නය නම් සැබෑ ජීවිතයේදීත් අප දකිනා දේශපාලකයන්ගෙන් 99% ක ගේ ම හැසිරීම මෙබඳු බවය. දසරාජ හා වර්තමාන දේශපාලකයන් බොහොමයක් අතර වෙනසක් නොමැති බවය. එසේ නම් රටට නීති සම්පාදනය කරනු අප තෝරා පත් කරගෙන ඇති බහුතරයක් මානසික රෝගීන්දැයි අප අපෙන්ම ප්‍රශ්න කරගත යුතු නොවේද?

එසේම සරත්චන්ද්‍ර අපට ඉදිරිපත් කරන දේශපාලන චරිත අතර සම්ප්‍රදායානුකූල විපක්ෂ නායකයකුද, රැඩිකල් මතධාරී තරුණ දේශපාලන චරිත දෙතුන් දෙනකුද, ගජනායක නම් අවස්ථාවාදී දේශපාලකයකු ද වෙති. ගජනායක චරිතය වාසි පැත්තට පනින මජර දේශපාලකයකු ලෙස අපට ඉදිරිපත් කරන නිර්මාණකරු වරෙක ඔහුගේ අදහස ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන්නේ සොකරි කෝලම් සම්ප්‍රදාය අනුසාරයෙනි. එය සාර්ථක වන්නට එකී චරිතය රඟපාන සංජීව දිසානායකගේ රංගනයද මනා පිටිවහලක් වී ඇති බව සඳහන් නොකරතොත් එය ඔහුට කරන මහත් අසාධාරණයකි. විපක්ෂ නායකවරයා ලෙස රඟන චන්න කුලරත්න මනා සැහැල්ලුවකින් වේදිකාවේ හැසිරෙයි. මාධ්‍යවේදියාගේ චරිතය පිළිබඳ යමක් කිව නොහැක්කේ එම චරිතයේ සීමිත බව නිසාවෙන්ම කෘතහස්ත රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චිගේ රංගනයද සීමිත වපසරියක් තුළ ලඝු වී ඇති බවක් හැඟෙන බැවිනි. දසරාජ ලෙස ප්‍රධාන භූමිකාවට පණ පොවන ජයනාත් බණ්ඩාරගේ රංගනය ඉතා ප්‍රබල තලයක පිහිටියා වුවද ඒ තුළ කිසියම් සිර වූ බවක් තිබිණිදෝයි අපට හැඟුණේ ඇයිදැයි මම තවම කල්පනා කරමින් සිටිමි. දසරාජගේ හෘද සාක්ෂිය නමැති චරිතය ඉතා වැදගත් එකක් වන්නේ දසරාජ හා නිබඳව ගැටෙනා එම භූමිකාව දුර්වල වුවහොත් දසරාජ චරිතයේ කඩා වැටීම නොවැළැක්විය හැකි වන බැවිනි. එම අභියෝගය භාරගන්නා සුපුන්චන්ද්‍ර දසනායක නම් ආධුනික රංගන ශිල්පියා ආධුනික නොවූ රංගනයක් තුළින් දසරාජට මනා සහයක් සපයයි. ඊළඟට යමක් කිවයුත්තේ සංගීතය පිළිබඳවය. සරත්චන්ද්‍ර අප හමුවට ගෙනෙන මෙම සංකීර්ණ විෂයය නැතහොත් සංකීර්ණ මනෝභාවය ප්‍රේක්ෂකයන් තුළ දනවන්නට චින්තක ජයකොඩි ඉටු කරනා මෙහෙය අතිමහත්ය. ජන සංගීතය ඇසුරෙන්ද, ෆැන්ටසි ආකාරයෙන්ද, සංකීර්ණ මනෝභාවයන් තීව්‍ර කරනු පිණිස නිර්මාණය කළ පර්යේෂණාත්මක ස්වරමාලාවන්ගෙන්ද ඔහු මනෝමේඝට කරනා දායකත්වය ඉතා ඉහළය. ආලෝකරණයද ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පවතින බව නොකියා නොහැක්කේය.

සියල්ල අවසන් වන්නේ දසරාජගේ විවිධ පෞරුෂයන් හමුවේ හෘද සාක්ෂියට පරාජය වන්නට සිදු වීමෙනි. පරාජය වන හෘද සාක්ෂිය අවසාන වශයෙන් දසරාජට කියන්නේ ළමා කාලයට ආපසු යන ලෙසය. සරත්චන්ද්‍ර එය හෘද සාක්ෂිය ලවා කියවන්නේ මානසික රෝගී දසරාජට පමණක් නොව හෘද සාක්ෂියට එරෙහිව යන අප සියල්ලන්ටම බව අපට සිතෙයි.

ප්‍රවීන නාට්‍යකරුවන් පවා අතගසන්නට මැළිවෙන තේමාවක් නොබියව හා සාර්ථකව වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන්නට පෙළඹීම පිළිබඳව දුහුනු වේදිකා නාට්‍යකරුවකු ලෙස (මනෝ මේඝ ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය යැයි සිතමු) සරත්චන්ද්‍ර මුතුබණ්ඩා වෙත අපගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවිය යුතුය. කලාව පමණක් නොව සමස්ත ආර්ථිකයම නන්නත්තාර වී ඇති කාලයක තමන් දුකසේ හරිහම්බ කරගත් සොච්චම වැයකොට කලා නිර්මාණයක් කරන්නට කෙනෙකු සිතන්නේ නම් ඔහුට අනිවාර්යෙන්ම යම් උමතුවක් තිබිය යුතු බව අපගේ කල්පනාවයි. එහෙත් ඔහුගේ මේ උමතුවට අප ආදරය කරන්නේ ලේසියෙන් දුවාගත හැකි බොළඳ හාස්‍යමය බොල් විසූක දස්සනයක් වෙනුවට ප්‍රේක්ෂකයන් ප්‍රඥාවෙන් සන්නද්ධ කරවන ප්‍රශස්ත නිර්මාණයක් කිරීමට එම උමතුව විසින් සරත්චන්ද්‍ර මුතුබණ්ඩාව පොළඹවා ඇති බැවිනි.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment