බියගම මුදල් ෆැක්ටි‍්‍රයෙන් සල්ලි අච්චු ගැහුවට ආර්ථිකයට එයින් කිසිදු විසඳුමක් නෑ – හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ

277

එහිදී කොමර්ෂල් බැංකුවේ කළමනාකර අධ්‍යක්ෂක සිංහ එස්. රෙන්ගනාතන් මහතා විසින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ නිමල් සේනාධීර මහතා වෙත එම පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක ඒකකය සකස් කර දෙන බවට අදාළ ලියකියවිලි භාර දුන් අයුරු. එහි නව වෙබ් අඩවිය එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ නිමල් සේනාධීර මහතා විසින් විවෘත කළ අයුරු.

රජය මගින් රටේ ආර්ථිකයට මුදල් අච්චු ගැහුවාට එය විසඳමක් වන්නේ නැතැයි ද ඒ නිසා බියගම වෙළෙඳ කලාපයේ මුදල් අච්චු ගහන ආයතනය තිබූ පලියට කොච්චර මුදල් අච්චු ගැහුවත් එයින් කිසිම ඵලක් වන්නේ නැතැයි ද එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති සිංහ රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු අගමැති සිංහ රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසුවේ පෙරේදා (23 වැනිදා) පස්වරුවේ මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ පිහිටි පී. ටී. ගාර්ඩන්ස් හෝටලයේ පැවැති බියගම නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ ඉදිකර ගෙන යනු ලබන සිංහ ශත සංවත්සර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අරමුදල ප‍්‍රවර්ධන කිරීමේ වැඩ සටහනකට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා නව වෙබ් අඩවියක් විවෘත කිරීම, එම අරමුදලට පරිත්‍යාගශීලීන් විසින් මුදල් ප‍්‍රදානය කිරීම, අන්තර්ජාලය හරහා එම අරමුදලට මුදල් ප‍්‍රදානය කිරීමේ පහසුකම් විවෘත කිරීම හා අරමුදල තර කර ගැනීම සඳහා ලොතරැයියක් හඳුන්වාදීම ඇතුළු වැඩ සටහන් රැසක්ම සිදු කරනු ලැබුහ.

තවද සිංහ චාන්දනී නානායක්කාර මහත්මිය විසින් කොටි ත‍්‍රස්තවාදින්ගේ යුද කාලයේ අතුරුදහන් වූ සිය පුත් ගුවන් නියමු සෙන්පති සුදර්ශන නානායක්කාර මහතා වෙනුවෙන් එහි ශාලාවක් ඉදිකිරීමට හා බියගම සිංහ සමාජයේ ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත සිංහ සුනිල් ගුණසේකර මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ඒ මහතා වෙනුවෙන් එහි ශාලාවක් ඉදි කිරීමට ද කැමැත්ත පළ කරන ලදී.

මේ වැඩ සටහනේ දී වැඩිදුරටත් කතා කළ හිටපු අගමැති සිංහ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද සඳහන් කෙළේය.

එදා බියගම ප‍්‍රදේශය ඉතාමත්ම නොදියුණු ප‍්‍රදේශයක්ව තිබුණේ. නමුත් මා එම නොදියුණු ප‍්‍රදේශයට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දී බියගම නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කළා. අද බියගම වෙළෙඳ කලාපය දකුණු ආසියාවේ ම තිබෙන හොඳම වෙළෙඳ කලාපය බවට පත් වී තිබෙනවා. එම තත්ත්වය ඉදිරියටත් එලෙසම පවත්වා ගෙන යන්නට ඕනෑ. එම වෙළෙඳ කලාපය ආරම්භ කරන්නට එදා සුනිල් ගුණසේකර මහතා කැප වුණා. එදා මේ කාර්ය ඉටු කිරීමේ දී ප‍්‍රදේශය දියුණු කරන්නට එවකට තිබූ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ බියගමට විශේෂ කොමසාරිස්වරයකු පත් කිරීමට අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ මා එම තනතුරට පත් කෙළේ සුනිල් ගුණසේකර මහතායි. ඔහු බියගම සිංහ සමාජයේ ආරම්භක සභාපතිවරයා ද වෙනවා.

සිංහ ශත සංවත්සර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, හිටපු බහු දිස්ත‍්‍රික් මණ්ඩල සභාපති හා ශත සංවත්සර සිංහාධිපති නිමල් සේනාධීර මහතා කතා කරමින් අනාගත පරපුර සඳහා මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට අපි කටයුතු කළා. මේ සිහිනය මල්ඵල ගන්වන දිනය වැඩි ඈතක නැහැ.

හිටපු සිංහාධිපතිවරුන්වන කිංස්ලි බර්නාඞ් හා රංජිත් පේමලාල් යන මහත්වරුන් විසින් මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ගැන පැමිණි පිරිස දැනුවත් කරන ලදී.

306 බී 2 සිංහ දිස්ත‍්‍රික් සිංහාධිපති කෞශල්‍ය රාජපක්ෂ, හිටපු ජාත්‍යන්තර සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය, බියගම නිදහස් වෙළෙද කලාපයේ ඇගියෝ පුද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක අනුර සිරිවර්ධන හා සිංහාධිපති උපදේශක හේමකුමාර ගුණසේකර යන මහත්වරුන් ද කතා කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment