බියෙන් තොරව හිස  කෙළින් තබන ඒ නිදහස !

265

ජාතික නිදහස පිළිබද පසු විපරමක්
 

 1978 දී යළිත් මෙරටේ සමාජ, ආර්ථික දේශපාලන ආදී සියලූ ක්‍ෂේත‍්‍රවල උඩු යටිකුරු වීමක් සිදුවූයේ විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වාදීමත් සමගය. කිසිදු මහජන අපේක්‍ෂාවක් නොවූ මෙම අලූත් ව්‍යවස්ථාව සමඟ ජාතික නිදහස, සංස්කෘතික හා සමාජ හර පද්ධතීන් සියල්ලද අභියෝගයකට ලක්විය. කුමක් වුවත් 1947 දී ලබාදුන් ව්‍යවස්ථාව අහෝසි කර 1972 දී දේශීය නිදහස තහවුරු කෙරෙන ව්‍යවස්ථාවක් අපට ලැබුණි. එහෙත් වසර හයකින් පසු එනම් 1978 දී එය අහෝසිකර අපට හඳුන්වා දුන් ව්‍යවස්ථාව අදත් කි‍්‍රයාත්මකව තිබේ. මෙය ජනතාවගේ දැඩි විවේචනයට ලක්වූ, ජාතික නිදහස මෙන්ම අපගේ ජාතික වටිනාකම් පද්ධතියද නොතැකූ විනාශයක් බව බහුතර ජනතාවක්ද පිළිගනු ලබන්නකි.

 74 වැනි ජාතික නිදහස් දින උළෙල උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් නිමාවූ බව සියලූ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ ආශ්චර්යවත් නිදහස් කාහල නාදයෙන් අගනුවර ගිගුම් දුන් බවද ස`දහන් විය. පුවත්පත්වල අලංකාර බසින්ද රූපවාහිනී නාලිකාවල විසිතුරු දසුන් ලෙසින්ද ජනතාවගේ දෑස් අබියසට රැුගෙන එන ලද ඒ බොහෝ පුවත් දැන් රැ දුටු සිහිනයක් වැන්න. එහෙත් ජන සමාජයකට නිදහස් දිනය තරම් උතුම් අර්ථවත් වෙනත් දිනයක් තිබිය නොහැක.

 මෙරටේ සිටි අග‍්‍ර ගණයේ පඬිවරයකු මෙන්ම කෘතහස්ත පුවත්පත් කතුවරයකුද වූ කුමාරතුංග මුනිදාස සූරීහු නිදහස ගැන මෙසේ ලියූහ.

 ‘‘ජන සමාජයට නිදහස නම් වුවමනායැ කෑම් බීම් පමණටමැ වුවමනායැ. නොහිම් (සීමාරහිත) කෑම බීම මෙන්මැ නොහිම් නිදහසද හිතට වඩා අහිත කෙරෙයි. නිදහසමැ ඉල්ලා මහ හඬ නගන්නෝ මේ බව මොහොතක් මෙනෙහි කෙරෙත්නම්, දැන් රටෙහි පවත්නා නොසන්සුන් බව බොහෝදුරට අඩුවනු නිසැකයි….

 ජාතියේ ස්වාධීනත්වය ගැන කොතරම් ආඩම්බර වුවද, ගැමුණු, පැරකුම්බා ආදීන් කොතරම් මහ හඬින් වැනුවද දැන් සිංහලයෝ නම් දාස ජාතිකයෙකි. උන්ගේ ස්වාමීහු ඉංගිරිසීහුමැ නොවෙති. තවත් බොහෝ ජාති උන්ගේ ස්වාමීහුයැ. කොටින්මැ සිංහලයා සිංහලයාට දාස නොවේ. අන් සියල්ලට හේ දාසයි. කටින් මෙයට බොහෝ වෙනස් වුවත් පැවැත්මෙන් නම්, මෙයට මද වුද වෙනසක් නැති.’’

 – (ලක්මිණි පහන 1934 අගෝස්තු 07)

 මේ ලංකාවට නිදහස ලැබීමට පෙර එනම් ඊට දාහතර වසරකට පෙර එදා ජාතික පුවත්පතක් වූ ලක්මිණි පහන කතුවැකියෙන් උපුටා ගත්තකි. ඒ වූ කලී අපේ ජාතික නිදහස් සටන පිළිබඳ යම් උද්යෝගයක් පැවැති යුගයක්ද විය. එසේම එය අපගේ නිදහස් අරගලවල සැබෑ නායකයන්වූ කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු වැනි දේශපේ‍්‍රමීන්ගේ අරගලවලින් පසු එළඹුණු අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ජාතික වීරයන් විසින් ආරම්භ කරන ලද දේශපාලන හා සංස්කෘතික පුනරුද සමයද විය. මේ වනවිට ලංකාවට නිදහස ප‍්‍රදානය කිරීමට අවශ්‍ය පසුබිම සකස්වී තිබුණු බවද ඒ ඉතිහාසය විමසා බලන විට තහවුරු වේ.

 බි‍්‍රතාන්‍ය රජය විසින් ලංකාවට ඩොමීනියන් තත්ත්වයක් ලබාදීමට සලකා බැලීමට හේතුවූයේ සෝල්බරි කොමිසමේ යෝජනා බවද දැක්වේ. 1945 නොවැ. 8 වැනිදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී සිංහල මහා සභාවේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා මෙම යෝජනා පිළිබ`ද ප‍්‍රමාණවත් විග‍්‍රහයක්ද කර තිබුණි. එහිදී විශේෂයෙන් අවධාරණය කළේ රටේ ආර්ථික දුෂ්කරතා ජයගැනීමත් විවිධ පක්‍ෂ හා ජන කොටස් අතර සමගියක් ඇති කිරීමත් යන කරුණු කෙරෙහිය. ජාතික නිදහස හා දේශාභිමානය යනු ජන නායකයන්ගේ මෙන්ම ජනතාවගේද රුධිරය සමඟ මුසුවූ උතුම් බලාපොරොත්තුවක් බවද බණ්ඩාරනායක මහතා කියා සිටියේය.

 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව නිදහස් ලංකාවේ ප‍්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ස`දහා පැමිණි සම්භාවනීය ආරාධිතයා වූයේද ග්ලොස්ටර්හි ආදිපාදතුමාය. ඔහු බි‍්‍රතාන්‍ය මහරජුව සිටි හයවැනි ජෝර්ජ්ගේ සහෝදරයාය. එදත් කොළඹ නිදහස් චතුරස‍්‍රයේ ඉදිවුණු සුවිසල් මන්දිරයක ඒ නිදහස් උළෙල පැවැත්විණි. එවක අගමැතිව වූ ඞී. ඇස්. සේනානායක මහතා විසින් ඒ ඓතිහාසික නිදහස් උළෙලෙහි පිළිතුරු කතාව පැවැත්වීම භාරකරන ලද්දේත් බණ්ඩාරනායක මහතාටය. ඔහුගේ චතුර ඉංග‍්‍රීසි දේශනය බි‍්‍රතාන්‍ය ජාතික අමුත්තන්ගේද ඉමහත් පැසසුමට ලක්විය.

 පහත දැක්වෙන්නේ එයින් උපුටා ගත් කොටස් කීපයකි.

 දාසභාවයේ දීර්ඝ නිද්‍රාවකින් පිබිදී අපි නැවතත් නිදහස් නිවහල්භාවය නමැති නවජීවනය කරා පා තබමු. පරුෂ බවක් හෝ බලවත් ශෝකයක් හෝ ඇතිවීමට ඉඩ නොතබා කිසිම ආරවුලක් හෝ කෝලහලයක් නොමැතිව අපි නිදහස දිනාගත්තෙමු.’’

 අවසාන කාලයට පා තබා ඇති මානව ශිෂ්ටාචාරය පිරිහෙමින් පවතින්නාවූද ආලෝක එකින් එක නිවී යන්නා වූද මෙම අ`දුරු, එමෙන්ම කරදර කම්කටොලූ වලින් ගහණ සමයේ ඉතුරුවී ඇති එකම බලාපොරොත්තුව නම් යුක්තිය සහ සමානාත්මතාවය පදනම් කොට ගෙන ලෝකයේ ජාතීන් අතර සහයෝගිතාව සහ මිත‍්‍රත්වය වැඩිදියුණු කිරීමයි.

 බණ්ඩාරනායක මහතා සිය ඓතිහාසික දේශනයෙන් අවධාරණය කළේ ‘නිදහස’ කිසිසේත්ම කාල්පනික සංකල්පයක් නොවන බවය. එය ජනතාවගේ සකලවිධ ආධ්‍යාත්මය තුළ ගාම්භීර පරිවර්තනයක් ඇතිකරන්නක් බව ඔහු ස`දහන් කර ඇත. එය මනුෂ්‍ය වර්ගයාට ලබාදෙන සහනයකට වඩා අර්ථවත් හා පුළුල් සංකල්පයක් මෙන්ම සජීව දේශපාලනයක පුනරුත්පත්තිය ලෙසද ඔහු දැක්වීය.

 සජීවී දේශපාලන නිදහස ළඟාකර ගත හැකිවන්නේ එය වෙනත් නිදහස හා බැ`දුණු, දුගී බවෙන් මිදීම, ලෙඩ දුකින් මිදීම අඥානභාවයෙන් මිදීම සහ නීතියෙන් මිදීම යන දේවල් ලබාගැනීම ස`දහා යොදාගත හොත් පමණි. එපමණක්ද නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට ලබාදීමට ඉදිරිපත් වී සිටින්නාවූද මිනිසාගේ ආත්ම ගෞරවය රකින්නාවූද, මිනිසුන් අතරේ යහපත්, අවංක සහ සාධාරණ ගති පැවතුම් වර්ධනය කරන්නාවූද නිදහස සෑම කෙනෙකුටම ලබාගැනීම සහතික කිරීමට නම් අප විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාද නැමැති සැලෙන ගිනි සිළුවට පවන් සලා එය ආලෝකවත් කළ යුතුය. මුළු මහත් මානව සංහතියේ ශ‍්‍රී සමෘද්ධිය සහ සාමය උදෙසා කෙතරම් සුළුවුවද අපගේ යුතුකම් කොටස ඉටුකිරීම ස`දහා ලෝකයේ සෙසු ජාතීන් සමඟ සුහද සබ`දකම ඇතිකරගෙන සියලූ ජාත්‍යන්තර සංවිධානවලදී උචිතවන අන්දමට අප විසින් කටයුතු කළ යුතුය.

 ඉහත දක්වන ලද සියලූම උපුටා ගැනීම්වලින් අපට පැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් ඒ වනවිටත් මෙරටේ දේශපාලනයේ කි‍්‍රයාකාරීව සිටි ඞී. ඇස්. සේනානායක ප‍්‍රමුඛ කිසිවෙක් නිදහස පිළිබ`දව ගැඹුරින් අවධානය යොමු නොකළ බවය. ඒ නිදහස මහජන අපේක්‍ෂාවන් හා ප‍්‍රාර්ථනාවන් මුදුන්පත් කිරීම ස`දහා වූ ප‍්‍රදානයක් නොවූ බවය. ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව වැනි රටවල නායකයන් නිදහස ජනතාවගේ අත්දැකීමක් බවට සමීප කරවීම ස`දහා මහත් පරිශ‍්‍රමයක් දැරූ නමුත් ලංකාවට එබඳු දැක්මක් නොවූ බව පෙනී යයි. 1948 පෙබරවාරි 10 වනදා ග්ලෝස්ටර් ආදිපාදතුමන් ඉදිරිපිටදීම බණ්ඩාරනායක මහතා කියා සිටියේ අප ලබාගත් නිදහස අප‍්‍රාණික හෝ හිස් පදයක් වීමට ඉඩ නොදිය යුතු බවය. කුමක් වුවත් ලංකාවේ ප‍්‍රථම අගමැති වූ ඞී. ඇස්. සේනානායක මහතා සමඟ රටේ නිදහස අර්ථවත් කරගෙන දේශපාලන ගමනකට පදනම නොවැටුණු බව බණ්ඩාරනායක මහතාගේ නොයෙක් විවේචනවලින් තහවුරු වන්නකි. ඉතා සැකෙවින් කිවහොත් එදා බණ්ඩාරනායක මහතාගේ චෝදනාව වූයේ අපේක්‍ෂා කළ කිසිදු ප‍්‍රශ්නයකට නිදහසින් පසු විසඳුමක් නොලැබුණු බවය. එය බි‍්‍රතාන්‍ය යටත් යුගයේ පැවැති සමාජ ආර්ථික හා දේශපාලනයටත් වඩා අන්ත එකක් බවය. තමන්ගේම දේශපාලන පක්‍ෂය හා නායකත්වය නිර්දය ලෙස විවේචනය කළ බණ්ඩාරනායක පසුව තම ඇමැති ධුර හා පක්‍ෂයේ තනතුරුද අතහැර ශ‍්‍රී ල නි පය නමින් ජාතික සංස්කෘතික වටිනාකම් මත පදනම්වූ පක්‍ෂයක්ද ගොඩනැගීය.

 1956 දී බණ්ඩාරනායක තම අලූත් පක්‍ෂය සමඟ වෙනත් පක්‍ෂවල සහායද ඇතිව මහජන එක්සත් පෙරමුණ නමින් පාලන බලයද ලබාගැනීමට සමත්විය. එහිදී යටත් විජිත ආණ්ඩු ක‍්‍රමය වෙනස් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ දේශපාලනයකට ඉවහල් වන ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමටද ඔහු අපේක්‍ෂා කළේය. දේශපාලන, සමාජ, ආර්ථික වශයෙන් යටත් විජිත ක‍්‍රමයට හුරුවී සිටි ලංකාව නිදහස් සමාජ වටිනාකම් සහිත පරිවර්තනයකට යොමුකළ යුතු බව ඔහු අවධාරණය කළේ නිදහස පිළිබ`ද ගැඹුරු වැටහීමකින්ද යුතුවය. ඒ පරිවර්තනය එක් ශිෂ්ටාචාරයකින් තවත් ශිෂ්ටාචාරයකට මාරුවීමකට වඩා බැරැරුම් එකක් බවද ඔහු දුටුවේය. ඔහුගේ එම ජයග‍්‍රහණය පනස්හයේ විප්ලවය ලෙස දේශපාලන විචාරකයෝ හැදින්වූහ. මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ එය දුටුවේ මෙරටේ බමුණුකුල බිඳ වැටීමක් ලෙසය.

 1956 දී ඇතිවූ දේශපාලන පෙරළිය පිළිබ`ද විග‍්‍රහයකට මෙහිදී අවකාශ නැති වුවද එයින් ආරම්භ වූ ජාතික සංස්කෘතික වටිනාකම් ඉහළ යාම අපගේ තේමාවට අදාළ වූවකි. එදා සිංහල බස රාජ්‍ය භාෂාව ලෙස සම්මත කරමින්, පොදු ජනයාගේ සිතුම් පැතුම් දේශපාලනයටද ඇතුළුවූ ආකාරය අපට දැකගත හැකිය. ටයිකෝට් බලය පසුබෑමට ලක්වී ජාතික ඇ`දුම මැතිසබයට යාම ගැනද ජනතාව තුළද උද්යෝගයක් තිබුණි. සිංහල බෞද්ධ ප‍්‍රබෝධය නිසා ඇතිවූ දේශීය උගතුන්ටද සමාජයේ පිළිගැනීමක් ලබාගත හැකි විය. ඉංගිරිසිය වෙනුවට සිංහලයා ඉදිරියට ඒම තුළින් සංකේතවත් වූයේ නිදහස හා බැඳුණු දේශීයත්වයයි.

 බණ්ඩාරනායකට දේශපාලනය පමණක් නොව ජීවිතයද අහිමිකරමින් යළිත් දේශීය වටිනාකම් හා ජනතාවාදී දේශපාලන බමරය ආපසු ධනවාදී ක`දවුරට වාසිදායක ලෙස කැරකැවෙන ලකුණුද යළි පහළ විය. 1965 දී එජාපය යළි බලයට පත්වූයේ ඒ අනුවය.

 මෙසේ දක්‍ෂිණාංශික හා වාමාංශික ක`දවුරු අතර දෝලනය වෙමින් තිබුණු දේශපාලන බලය යළි පොදු ජනයාට සමීප වූ අවස්ථාව ලෙස 1970 සමගි පෙරමුණ ලද ජයග‍්‍රහණය හැදින්විය හැකිය. එහිදී සිදුවූ දේශපාලන සිදුවීම් පිළිබ`ද විවිධ විවේචනද තිබේ. එයින් අපගේ තේමාවට අදාළ සුවිශේෂ සිදුවීම වන්නේ එම රජය විසින් රටට හඳුන්වාදෙන ලද අලූත් ව්‍යවස්ථාවය. සිරිමාවෝ බණ්ඩාරනායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඇතුළු සමගි පෙරමුණ එදා රටට හඳුන්වාදුන් ජනරජ ව්‍යවස්ථාව වසර සිය ගණනක් රජකළ බි‍්‍රතාන්‍ය පාලනය නමැති අධිරාජ්‍යවාදී ආඥාදායකත්වය අහෝසි කිරීමේ ඓතිහාසික පියවරකි. ඒ 1972 දී බලාත්මක වූ ජනරජ ව්‍යවස්ථාවය. එය නිසැකයෙන්ම 1956 දී ඇගයීමට ලක්වූ ජාතික නිදහස, පුද්ගල වටිනාකම හා පොදු ජන සහභාගිත්ව දේශපාලනය ස්ථාපිත කිරීමක් විය.

උපුටා ගැනීම නිර්මාණය හා ශෝකය සිරිල් සී. පෙරේරා කෘතියෙනි
 ගාමිණී සුමනසේකර
 ඉතිරි කොටස හෙට පත‍්‍රයේ

advertistmentadvertistment
advertistmentadvertistment