බිරිඳගේ ගෙල කපා මරාදමා  වස බිව් සැමියා රෝහලේ – දියණිය පාසලින් අස්කර දෙනවා යැයි මව පාසල වෙත කැඳවලා

236

පවුල් ආරවුල දුරදිග ගොස්, පියා විසින් තම දියණිය පාසලින් ඉවත් කරදෙන බව පවසා දියණිය ලවා මව පාසල වෙත ගෙන්වා ගෙන තිබේ. එහිදී පාසල ඉදිරිපිටදීම සැමියා විසින් බිරිඳ කුරිරු ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පන්සල පාර මහදිවුල්වැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 35 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ සෞම්‍යා සඳමාලි දිසානායක නමැති දෙදරු මවකි.

කැබිතිගොල්ලෑව කලාපයට අයත් සිවිල් ආරක්ෂක භටයෙකු වන මහදිවුල්වැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 42 හැවිරිදි ධර්මදාසගේ සමරක්කොඩි ධර්මදාස යන ඝාතනයේ සැකකරු මීට වසරකට පෙරද මෙසේ මියගිය තැනත්තියට පිහියකින් ඇණ ඇත. ඒ පිළිබඳ අධිකරණයේ නඩුවක්ද පවතින බව පොලිසිය කියයි.

පවුල් ආරවුල් තත්ත්වය දුරදිග යෑම හේතුවෙන් මව විසින් තම 17 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබූ මහදිවුල්ලෑව පාසලින් දියණිය ඉවත්කර පූනෑව පාසලට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය බව ස්වාමියාට කිහිප දිනක් පවසා ඇත. අනතුරුව මෙම පියා විසින් දියණිය ලවා ඊයේ (17 දා) උදෑසන 8.30 ට පමණ මහදිවුල්වැව පාසල වෙත දියණිය ඉවත් කරදීමට පැමිණෙන ලෙස මවට පණිවිඩයක් යවා ඇත. පාසලට ආසන්න පවුලේ නෑ නිවසක නැවතී සිටි මව එම අවස්ථාවේම දියණියගේ පණිවිඩය හමුවේ පාසල වෙත පැමිණ ඇත.

අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පියා පාසලට මීටර් 600 ක් පමණ දුරක සිට මවට කිට්ටු වී එක්වරම තම ඉනේ සඟවාගෙන සිටි තියුණු උල් සහිත කිණිස්සක් භාවිතා කර මවගේ ගෙල කපා ඇත. අනතුරුව ශරීරයේ කිහිප ස්ථානයකට පිහි පහරවල් එල්ල කර පලාගිය සැකකරු කෘමිනාශක වර්ගයක් පානය කර ඇත. රෝගාතුර වූ සැකකරු මැදවච්චිය රෝහල වෙත රැගෙන විත් පොලිස් අත්අඩංගුවට පත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිදු කරයි.

මැදවච්චිය – ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment