බිරිඳගේ මාරාන්තික උපවාසය

441

පසුගිය දිනවල අපට වැඩිපුර අහන්නට ලැබුණේ ඉස්ටාලින් මහත්තයා ගැනය. ගුරු ඉල්ලීම් මත්තේ ඔහු හැපුණේය. වැළපුණේය. ඉල්ලීම් දිනා ගත්තේය.

මේ ආණ්ඩුවට මේ විදිහට උද්ඝෝෂණ කළහොත් කල්ගිහිල්ලා හරි ඉල්ලීම් දිනා ගැනීමට හැකිවෙන බව දැනගෙන දැන් උද්ඝෝෂණ සෑම පැත්තෙන්ම පවත්වන බව මගේ බිරිඳ දිනක් හැමදාම කන පරිප්පුව හැඳිගාමින් කීවාය.

‘හෝටල්වල කුස්සිවල ඉන්න ගැහැනුන් දුක්ගැනවිලි කියලා උද්ඝෝෂණ කරන්න ඕනෑ’ කියමින් බිරිඳ මා දෙස බැලූවේ පිරිමින්ට එරෙහිව ළඟදීම කාන්තා උද්ඝෝෂණයන් කි‍්‍රයාත්මක කරන බවට රතු නිවේදනයක් ඉදිරිපත් කරමිනි.

‘පොල් ගේන්න කිව්වොත් අපේ මනුස්සයා ගේන්නේ පොල් අරක්කු බෝතලයක්’ කියමින් ඇය මා දෙස බලා රැව්වාය. එරෙව්වාය.

මගේ බිරිඳ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට උපක‍්‍රමයක් යොදා ගත්තාය. අහල පහළ සියලූම කාන්තාවන්ට දුරකථනයෙන් දැනුම් දීමක් කළාය.

ශිරාන්ගේ බිරිඳ සුබාටත් ඇය කතා කළාය.

‘පිරිමි අපිට බොරු කියනවා. ලබාගන්නා ආදායම හරියට කියන්නේ නැහැ’ ගෙවල්වලට හැමදාම දැන් ගේන්නේ පරිප්පුයි. පරිප්පු කාලා එපාවෙලා තියෙන්නේ.

ආණ්ඩුවත් අපිව රවට්ටනවා’ ගෙවල්වල පිරිමින් අපව රවට්ටනවා. මිනිස්සුන්ට බොන්න සල්ලි තියෙනවා. ගෙදරට සීනි තේකොළ ගන්නවත් සල්ලි නැහැ’ යැයි ඇය කීවාය. එසේ කියූ මගේ බිරිඳ ඉල්ලීම් දහයක් ඉදිරිපත් කරමින් අපේ නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් සූදානම් කළාය.

එහා ගෙදර ශාන්ති, සුනිල්ගේ බිරිඳ වරුණි, 31 ගෙදර ශාන්ති, ඇතුළු කාන්තාවෝ පිරිසක් මෙම උපවාසයට සහභාගි වූහ.

රටේ වෙළෙන්දෝ, ගෑස්කාරයෝ යූනියම්කාරයෝ, හාල් මෝල්කාරයෝ හිතු හිතූ විදිහට භාණ්ඩ මිල ඉහළ දානවා. ගෙවල්වල පිරිමින් ගණන් උස්සනවා. කාන්තා සැලූන් වහලා දාලා. වයසක ගෑනු උදවිය තරුණ කරන ‘මේකප් සැට්’ අද ගිනි ගණන්.

මත්පැන් බිල වැඩි කළ යුතුයි. කුස්සිවල පාලනය පිරිමින්ට දිය යුතුයි. පිරිමින්ගේ වැටුප් සියල්ලම ඔවුන් තම තමන්ගේ බිරින්දෑලාට දිය යුතුයි.උගස්කර තිබෙන රන් ආභරණ සියල්ලම මුදල් අය නොකර ආපසු ඒවා අයිති කාන්තාවන්ට ආණ්ඩුව ලබාදිය යුතුයි.

රට පාලනය කිරීමට කාන්තාවකට වහා පැවරිය යුතුයි. ගැහැනු මායම් හැටහතර සියල්ලම යොදා පිටරට ආධාර ලබා ගැනීමේ හැකියාව ගැහැනුන්ට තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත දැමිය යුතුයි. මෙම ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදෙන තුරු අපි කෑම බීම නොගෙන මාරාන්තික උපවාසය කි‍්‍රයාත්මක කරනවා.

මෙම මාරාන්තික උපවාසය නතර නොකළහොත් ගෙවල්වල පිරිමින්ට සිදුවෙන්නේ හෝටල්වලින් ගිනි ගාණට මොනවා හරි කෑමක් බීමක් ගැනීමටය.

උපවාසය නතර කිරීමට මා උපාය දූතයන් යැවූ නමුත් එය අසාර්ථක විය.

ප‍්‍රශ්නය හුඟාක් දුරදිග ගියාට පස්සේ තමයි ආණ්ඩුව මේ වගේ වර්ජන උද්ඝෝෂණ නතර කරන්නේ. අපි ටික කාලයක් ඉඳලා කාන්තාවන්ගේ ප‍්‍රශ්න සියල්ලම විසඳලා දාමු. එතකන් ඔය කට්ටිය කැමරාවලට දිගට හරහට මුහුණ දිදී ඔය උපවාසය දියත් කරයි මගේ මිත‍්‍රයෙක් කීවේය.

කාන්තා උපවාසය ආරම්භ කර පැය තුනක් ගියේය. ඉස්සරහ තිබෙන සුනිල්ගේ කඩය ඉදිරිපිට කිරිපිටි ලොරියක් නතර කළේය.

කිරිපිටි පෙට්ටි කඩයට බෑමට පටන්ගෙන තිබුණි.

උපවාස කරමින් සිටි කාන්තාවෝ උපවාසය නතර කර කිරිපිටි මිලදී ගැනීම සඳහා පොරකෑමට පටන් ගත්හ.

කිරිපිටි පෝලිමේ පළමුවැනියා වූයේ මගේ බිරිඳය. උපවාසය සැණකින් නිමවිය. රතු ලූනු, ලොකු ලූනු, පොල්, කරවල, හාල්, හෙයා ඩයි, සබන්, පියුරු, රෙදිපිළි ලාබෙට විකුණන ලොරියක් ආවොත් කාන්තාවෝ කෙදිනකවත් උපවාස නොකරති. උදේ සිට සවස් වෙන තුරු ඒවා තෝරති.

ගෙවල්වල පිරිමි එදාට බඩගින්නේය. එක් අතකින් අර උපවාසය වගේමයි.

advertistmentadvertistment
advertistmentadvertistment