බිරිඳගේ රංගනය මාරයි සැමියා අනූනවයෙන් බේරෙයි

3280

අනියම් පෙම්වතෙකු සමග සිය බිරිඳ රාත‍්‍රි කාලයේ යහන්ගතව සිටි අවස්ථාවේ එය අතට හසුකරගත් යුද හමුදා සෙබෙළෙකු හා අනියම් සැමියා අතර ඇතිවූ ගැටුමකදී තම නීත්‍යානුකූල සැමියා ඝාතනය කිරීම සඳහා බිරිඳ අනියම් සැමියාට මන්නා පිහියක් දුන් සිද්ධියක් සම්බන්ධ පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

යුද හමුදා සෙබෙළා රාත‍්‍රි කාලයේ සිය නිවසට පැමිණ දොර විවෘත කරන ලෙස බිරිඳට පවසා තිබේ. එම අවස්ථාවේ අනියම් සැමියා සමඟ යහන්ගතව සිටි බිරිඳ කලබලයට පත්වී තම සැමියාට පිටුපස දොරෙන් ගෙට ඇතුළු වන ලෙස දන්වා ඉදිරිපස දොර විවෘත කර අනියම් සැමියාට යතුරු පැදියද රැගෙන පලා යෑමට කටයුතු සලසා ඇත. එය දුටු යුද හමුදා සෙබළා අනියම් සැමියා සමඟ මිදුලේ පොර බදා ඇඳ වැටී සිටි අවස්ථාවේ බිරිඳ, සිය සැමියාට පහරදී ඔහුව ඝාතනය කිරීම සඳහා අනියම් සැමියාට මන්නා පිහියක් ලබාදී තිබේ. අනියම් සැමියා සිය හිස් වැසුමද අතහැර යතුරු පැදියෙන් පලාගිය බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියේ අනියම් පෙම්වතා වූ සිවිල් ආරක්ෂක භටයා බිබිල – කණවේගල්ල පදිංචි තිදරු පියෙකු වන අතර හමුදා සෙබළාගේ බිරිඳ බිබිල – නාගල කින්දගල්ල පදිංචි දෙදරු මවකි.

මෙම අනියම් සම්බන්ධය පිළිබඳව යුද හමුදා සෙබළා බිබිල පොලිසියට කිහිප වරක් පැමිණිලි කර තිබෙන අතර එය අසත්‍යයක් බව හමුදා සෙබළාගේ බිරිඳ පොලිස් පරීක්‍ෂණවලදී පවසා ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කළේය.

මෙම අනියම් සබඳතාවය පිළිබඳ සිවිල් ආරක්ෂක භටයාගේ බිරිඳ ද පොලිසියට පැමිණිලි කර තිබේ.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාටකයේ මෙන් මෙම කාන්තාව සිය සැමියා ඝාතනය කිරීම සඳහා කඩුවක් නොව මන්නා පිහියක් ලබාදී ඇති බව පොලිසිය පවසයි.

මොණරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්, සහකාර පොලිස් අධිකාරි එස්. පී. කේ. ගාල්ලගේ, බිබිල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. පී. සී. එස්. කේ. සෙනරත් යන අයගේ උපදෙස් මත කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි පො. ප. උපේක්ෂා, විවිධ පැමිණිණිලි අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ජයසිංහ, පො. සැ. අත්තනායක ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

බිබිල ජේ. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment