බිරිඳට ඇසිඩ් ගැසූ සැමියා අත්අඩංගුවට: අනියම් සබඳතා නවත්වන්න කළ වැඩක්ලු!

298

– පොලිසිය නොමඟ යවන්න පැමිණිල්ල දාලා තියෙන්නේත් සැකකරුමයි

අනියම් ඇසුරක යෙදුණු බව කියන සිය බිරිඳගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට ගන්නා සැර දියරයක් එල්ල කර, පොලිස් පරීක්ෂණ ද නොමග යවමින් සිටි පුද්ගලයකු පෙරේදා (29 දා) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා රාත‍්‍රී 10ට පමණ පෞද්ගලික ආයතනයක රාජකාරිය නිම කර, ඔවුන් පදිංචි කුලී නිවසට එමින් සිටියදී දෙදරු මවට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා වන සැකකරු පොලිසියට පැමිණිලි කර කියා සිට ඇත්තේ, කිසියම් පුද්ගලයකු විසින් මග රැක සිට සිය බිරිඳට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කර ඇති බවත්, ඒ මොහොතේ තමන් රත්මලාන ප‍්‍රදේශයේ රැඳී සිටි බවත්ය.

කෙසේ වුවද මාස දෙකකට අධික කාලයක් පොලිස් පරීක්ෂක ඞී. එල්. ඒ. නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම පරීක්ෂණ කර ඇති අතර, සැකකරුගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී ඇසිඞ් ප‍්‍රහාරය එල්ල වන මොහොතේ ඔහු වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ රැඳී සිට ඇති බවත්, ප‍්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව රත්මලාන ප‍්‍රදේශයට ගමන් කර ඇති බවත් තහවුරු වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වල දී වාද්දුව පොතුපිටිය මහා විදුහල අසල, රංජිත් ශාන්ත රූපසිංහ මාවතේ තාප්පය අසල සැඟව සිට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කර ඇති බවට පිළිගෙන ඇති බව පොලිසිය කියයි.

අනියම් සබඳතා කිහිපයක් පවත්වා ඇති සිය බිරිඳ යහමගට ගැනීමට දැඩි උත්සහයක නිරතව එය අසාර්ථක වීමෙන් අනතුරුව ඇයගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට යොදා ගන්නා අධිසැර රසායනික දියරයක් (හයිඩ්‍රෝක්ලෝරීන් අම්ලය) මුහුණට දමා ගැසූ බවට සැකකරු ප‍්‍රකාශ ලබාදී ඇතැයි ද පොලිසිය කියයි.

මරණ චේතනාවෙන් ප‍්‍රහාරය එල්ල කර නොමැති බවට ප‍්‍රකාශ ලබාදී ඇති සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක් ගෙන ඇති බවට ද තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලූගල, ස.පො.අ (1) ඩබ්ලිව්. ඞී. ටී. ක‍්‍රිශාන්ත, ස.පො.අ (2) අර්ජුන කොඩිකාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එල්. ඒ. නයනජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන ටී. බී. සමන්තිලක (41104), නෙළුම් බණ්ඩාර (30789), කොස්තාපල්වරුන් වන ප‍්‍රසන්න (69479) සහ වසන්ත (69918) යන මහත්වරු වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment