බිරිඳට බෙහෙත් ගන්න පැමිණි ආබාධිත සෙබළා සෞඛ්‍ය සේවකයකුට කන පැලෙන්න ගහලා

628

සේවකයෝ සිවුදෙනෙක් මට වටකරගෙන ගැහුවා – සැකකාර සෙබළා පොලිසියට කියයි

වෛද්‍ය සායනයකට සහභාගිවූ ආබාධිත යුද හමුදා සෙබළකු රෝහලේ රාජකාරියේ යෙදී සිටි සෞඛ්‍ය සේවකයෙකුට පහරදීම නිසා ඔහුගේ කනට බරපතල හානි සිදුවී රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත්, ආබාධිත සෙබළා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව කුරුණෑගල මහ රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

ආබාධිත රණවිරුවා සිය බිරිඳගේ රෝගී තත්ත්වයක් මත කුරුණෑගල මහ රෝහලේ 45 සායනය භාර වෛද්‍යවරයා හමුවීමට පසුගිය 13 දා පෙරවරුවේ පැමිණ සිටියදී සායනයේ සිටි සෞඛ්‍ය සේවකයකු සමඟ ඇතිකර ගත් ගැටුමෙන්, සෞඛ්‍ය සේවකයන් සිව්දෙනකු පැමිණ තමාට පහර දුන්නැයි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ පැමිණිලි කර කුරුණෑගල රෝහලේ 27 වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ගත්හ.

සෞඛ්‍ය සේවකයාද තමන්ගේගේ කනට සිදුවූ අනතුර නිසා රෝහලේ 1 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබති.

සෞඛ්‍ය සේවකයාගේ රාජකාරියට බාධා කිරීම හා ඔහුට පහරදීම සම්බන්ධයෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි ආබාධිත රණවිරුවා රෝහලේදීම අත්අඩංගුවට ගත්හ.

රෝහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී සෞඛ්‍ය සේවකයාට පහරදෙන අයුරු සටහන් වී තිබුණත් ආබාධිත සෙබළාට පහරදෙන අයුරු සටහන් වී නොතිබුණ බව පොලිස් පරීක්ෂණයේදී ආබාධිත රණවිරුවා පවසා ඇත.

එහෙත් එම මොහොතේ සායනයට සහභාගි වී සිටි සියලූ දෙනාම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව ආබාධිත රණවිරුවා පවසා ඇත. කුරුණෑගල උහුමීය ප‍්‍රදේශයේ පදිංචි මෙම විශ‍්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළා රෝහලෙන් තමන්ට අසාධාරණයක් වූ බව පැවසීය.

කුරුණෑගල වැඩබලන මහෙස්ත‍්‍රාත් සුදත් වික‍්‍රමරත්න මහතාගේ නියෝගයෙන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ආබාධිත රණවිරුවා නිදහස් කර නැවත නඩු විභාගය මාර්තු 01 දිනට කල්තැබීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment