බිරිඳ ඉදිරිපිටදීම පොලුවලින් ගසා පස්දරු පියා මරලා

952

සිය බිරිඳ ඉදිරියේ පොලූවලින් හිසට පහර දී පස්දරු පියකුවන සැමියකු ඝාතනය කර ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරුවන් හයදෙනකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර උතුර පවසයි.

ගල්පාත, කුඩාගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටී එම්. ඒ. ශාන්ත (55) යන අයගේ ඝාතනය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිඳවන රංජනී එදුත්සූරිය යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම්. ඒ. ශාන්ත යන අයගේ හිසට පොලූ පහර කිහිපයක් එල්ල වීමෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (18 දා) රාත‍්‍රි මියගොස් තිබුණි.

සිය ස්වාමිපුරුෂයා පෙර දින ගල්පාත, බරුවපොළ ප‍්‍රදේශයේ කොටහලූ උත්සවයකට සහභාගි වී නැවත නිවසට පැමිණ සිටිය දී රාත‍්‍රී 11ත් 12ත් අතර කාලයේ දී නිවසට පැමිණි පිරිසක් තමා ඉදිරියේම ඔහුගේ හිසට අමානුෂික ලෙස පොල්ලකින් පහරදුන් බවත්, පහර දෙන අවස්ථාවේ අයකු ඔහුගේ ගෙල මිරිකාගෙන සිටි බවත් බිරිඳගේ ප‍්‍රකාශයෙන් තහවුරු කර ඇතැයි පොලිසිය කියයි.

පැමිණිල්ලේ සැකකරුවන් හයදෙනකුගේ නම් සඳහන් කර ඇති බවත්, ඔවුන් මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් පරිදි, වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment