බිරිඳ ඝාතනය කළ සැමියා ඇය දිවිනසා ගත්තා යැයි සිතෙන සේ වැඩ කරලා

553

* පැනගිය සැකකරු සොයා පොලිස් පරීක්‍ෂණ ඇරැඹෙයි

සිය බිරිඳගේ හිසට පහර දී ඝාතනය කර දිවි නසාගෙන ඇති බව අඟවා සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා පලාගිය බවට සැකකරන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පෙරේදා (30දා) රාත‍්‍රියේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉලූප්පුකන්නිය,මිහින්තලය ලිපිනයේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 24ක් වූ අමා කෞෂල්‍යා නමැති එක්දරු මව සැමියා විසින් ඝාතනය කර පලා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

දෙදනා අතර පෙරේදා (30දා) සවස නිවසේ දී කිසියම් ආරවුලක් ඇති වී සැකකාර සැමියා විසින් පහර දෙන්නට ඇති බවත් එම අවස්ථාවේ ඇය මියයෑම නිසා සියදිවි නසා ගැනීමක් සිදුවී ඇති බව ඇ`ගවීමට ඔවුන් පදිංචිව සිටි නිවසට පිටුපසින් මීටර් සියයක් පමණ ඈතින් පිහිටි වෙනත් ඉඩමකට සිරුර රැුගෙන ගොස් ගෙලට තොණ්ඩුවක් දමා එල්ලන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

අසල්වාසියකු විසින් තරුණ කාන්තාවගේ සිරුර ගසක එල්ලෙමින් තිබෙනා බවට මිහින්තලය පොලිසියේ නිලධාරියකුට දුරකථනයෙන් කළ දැන්වීමට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එහි ගොස් සිරුර සොයාගෙන තිබුණි. සිදුවීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ තුන් හැවිරිදි දියණිය නිවසේ සිට ඇතත් අදාළ සිදුවීම පිළිබඳව ඇයට කිසිදු තේරුමක් නොමැති බව පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ දියණිය මිත්තනිය භාරයට පත්කළ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක සංජීව ජයසූරිය මහතා පෙරේදා (30ද) රාත‍්‍රියේ ස්ථානීය පරීක්ෂණයට පැමිණ ගෙල වැළලා තිබූ සිරුර ගසෙන් බිමට ගෙන පරීක්ෂණ පැවත්වීය.

එහිදී මරණයට පත්ව සිටි කාන්තාවගේ හිසේ තුවාල කිහිපයක් තිබෙනා බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි. එය මොට ආයුධයකින් පහරදී හෝ හිස බිත්තියක හප්පා ඇති වූ මරණයක් බවට පොලිසිය අනාවරණය කර ගත්තේය. ඒ අනුව කාන්තාවගේ මරණයට හේතුව පහරදීමක් වියහැකි බව නිගමනය කළ විනිසුරුවරයා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තා කරනා ලෙස පොලිසියට නියෝග කළේය.

ඇය ඝාතනයට ලක්වී ඇත්නම් සැකකාර සැමියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

කාන්තාව මරණයට පත්වීමත් සමග සැමියා අතුරුදන්වීම නිසා ඔහු ඇය ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරනා අතර 27 හැවිරිදි සැකකරු පෙදරේරු වෘත්තියේ නිරත වෙන පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතා ඇතුළුව අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment