බිරිඳ යළි ගෙදර එන්න බැහැ කිව්වැයි උරණ වී  පියා දුවගේ නිවසට ගිනි තබයි

130

කතක් සහ තරුණයෙක් පිළිස්සීමෙන් මරුට

සැමියාගෙන් ලද හිරහැර ඉවසනු බැරිව තම දුවගේ නිවසේ පදිංචියට ආ බිරිඳ යළි කැන්දා ගෙන යන්න ආ සැමියාගේ බහට කන් නුදුන් නිසා පියා විසින් දුවගේ නිවසට ගිනි තබා ඇති අතර එයින් නිවසේ සිටි කාන්තාවක් සහ ඇගේ ඥාති පුතෙකු පිළිස්සීමෙන් ඇතිවූ බරපතළ තුවාල නිසා මිය ගොස් ඇති බවද බව වත්තල පොලිසිය පවසයි.

සිද්ධිය සිදුවී ඇත්තේ වත්තල ලියනගේ මාවතේ දෙමහල් නිවෙසකය. කාන්තාව නිවෙසේ තරප්පු පේලියෙන් බිමට වැටී එම ස්ථානයේදීම පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් ඇති අතර තරුණයා පිළිස්සීමෙන් ඇතිවූ බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වත්තල පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත් නිවෙසේ පදිංචිකාරියගේ පියා වන නාවලපිටිය අඹගමුවේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුද  ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අදාළ නිවසේ පදිංචි කාන්තාවගේ ළඟම ඥතීන් වන කිරුළපන පදිංචිව සිට ඇති 57 හැවිරිදි කාන්තාවක් සහ 20 හැවිරිදි තරුණයෙකි.

විමර්ශන කටයුතු සිදු කරන වත්තල පොලිසිය අනාවරණය කර සිටින්නේ නාවලපිටිය අඹගමුවේ පදිංචිව සිටි සැකකරු ඇගේ බිරිඳ සමග නිතර අඬ දබර සිදුකර ගෙන ඇත. සැමියාගෙන් සිදුවන හිරිහැර සහ ගුටි බැට ඉවසන්න බැරිම වූ නිසා බිරිඳ වත්තල පදිංචිව සිටි ඔවුන් දෙපලගේ දුවගේ දෙමහල් නිවසට පදිංචිය සඳහා පැමිණ ඇත. සිද්ධිය වූ දින එම නිවසට හදිසියේ පැමිණි සැකකරු තමන් සමග නාවලපිටිය ඔවුන්ගේ පදිංචි නිවෙසට යෑමට එන ලෙස  බිරිඳගෙන් ඉල්ලා සිට ඇත. බිරිඳ ඔහුගේ ඉල්ලීමට කන් නොදී නිවසේ උඩුමහලට දිව ගොස්  කාමරයකට වී දොර වසා ගෙන සැඟව සිට ඇත. මෙයින් කෝපයට පත් ඔහු නිවෙසේ පහළ තිබූ පෙට්‍රල් ලීටර් පහක් පිරවූ බූලිය උඩු මහලට රැගෙන විත් පෙට්‍රල් උඩු මහලේ සාලයේ බිම පුරා විසුරුවා ගිනි තබා බිරිය බිය ගන්වා කාමරයෙන් එලියට ගැනීමට උත්සාහ කර ඇත.

ගිනි තැබීමෙන් සිද්ධියෙන් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති කාන්තාව සහ ඇගේ ඥාති පුතා එම දෙමහල් නිවෙසේ පදිංචි කාන්තාවගේ පුංචි අම්මා සහ ඥාති සොහොයුරෙකු වන බවත් වත්තල රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට යෑම සඳහා ඔවුන් එම නිවසේ උඩු මහලේ සාලයට ආසන්නව කාමරයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවද විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න පැතිර යෑම වළක්වා ඇත. සිද්ධිය දැනගත් සැණින් එම ස්ථානයට පැමිණි වත්තල පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් උඩු මහලේ තවත් කාමරයක සිටි ගෙහිමි කාන්තාවගේ බාල පුතෙක් සහ සැකකරුට බියෙන් කාමරයේ දොර වසාගෙන සිටි ඇගේ මවද ආරක්ෂිතව උඩු මහලෙන් පහළට ගෙන ඒමට හැකිව ඇත.

වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එන්. ඒ සඳනුවන් මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්‍ෂක වරුන් වන ආර්. සේනානායක, එස්. බණ්ඩාර, පොලිස් කොස්තාපල් වරුන් වන (46126) එදිරිසිංහ, (71164) නලින්, (94046) රණවීර, (86074) පතිරණ, (88687) කුමාර, (41251) කුමාර සහ කාන්තා පොලිස් කොස්තාපල් (2137) සුනේත්‍රා යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බී. ටී. කේ – ජා ඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment