බිරිඳ රට යවා සිඟිති දියණිය කෙළෙසූ නරුම පියා අවුරුදු 120ක් හිරගෙට

991
Hands of the prisoner in jail

ලක්‍ෂ 6ක වන්දියක් සහ 80,000ක දඩයක් ගෙවීමටත් නියෝග

අවුරුදු එකොළහක් වයසැති තම දියණිය වසර දෙකක් තිස්සේ වරින් වර බරපතළ ලිංගික අපයෝජනට ලක් කළ බවට වරදකරු වූ පියෙකුට නඩු තුනකදී චෝදනා අටකට වසර එකසිය විස්සක සිරදඬුවමක්ද,රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූදහසක දඩ මුදලක් ගෙවන ලෙස ද බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පෙරේදා (05 වැනිදා) නියම කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය කොරකීන හි පදිංචි පුද්ගලයකුටය. 2008 ජනවාරි මස පළමුවැනිදා සිට 2010 ජනවාරි මස විසි පස්වැනිදා යන කාලය තුළදී වරින් වර තම දියණියට බරපතළ ලිංගික අතවර සිදුකිරීම මොහුට එල්ල වූ චෝදනා වූ අතර ඒ සඳහා නඩු තුනක් පවරා තිබිණි.

බිරිඳ විදේශ රටක සේවය කිරීමට විදේශ ගතව සිටියදී පියා බීමතින් පැමිණ තමා අපයෝජනය කළ බව මෙම කුඩා දියණිය අසල්වැසි කාන්තාවකට පැවසීමෙන් පසු ඇය ඌරගස්මංහන්දිය පොලිසියට දැනුම් දී පියාට විරුද්ධව නඩු පවරා තිබේ.

ඒ අනුව පළමු නඩුවේ චෝදනා තුනටම වරදකරු වූ හෙයින් එක චෝදනාවට වසර පහළොව බැගින් වසර හතළිස් පහක සිරදඬුවමක්ද, එක චෝදනාවට රුපියල් දස දහස බැගින් රුපියල් තිස් දහසක දඩ මුදලක්ද, එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක්ද, දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස ද එය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක්ද, දෙවන නඩුවේ චෝදනා දෙකටම වැරදිකරු වූ හෙයින් එක් චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිරදඬුවමක්ද, එක චෝදනාවට රුපියල් දස දහස බැගින් රුපියල් විසිදහසක දඩ මුදලක් ද ගෙවන ලෙසත්, එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් ද, රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක්ද විත්තිකරුට නියම කෙරිණි.

තුන්වන නඩුවේ චෝදනා තුනකට වරදකරු වූ හෙයින් එක චෝදනාවට වසර පහළොව බැගින් වසර හතළිස් පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද, ඊට අමතරව එක චෝදනාවට රුපියල් දස දහස බැගින් රුපියල් තිස් දහසක දඩ මුදලක්ද, එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක්ද, රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියම කළ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සෞම්‍යා විජේසිංහ මෙනෙවිය පෙනී සිටි අතර ඌරගස්මංහන්දිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂක නන්දාවතී මහත්මිය විමර්ශන කටයුතු සිදු කළාය.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment