බිරිඳ හා මස්සිනා මරා  සැකකරුත් ගෙල කපාගනී

252

– නවගත්තේගම ද්විත්ව ඝාතනයක්

දීර්ඝ කාලයක් තිස්සේ තිබූ පවුල් ආරවුලක් දුර දිග යෑම හේතුවෙන් ද්විත්ව මිනිස් ඝාතනයක් සිදුවී ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේදී 30 වැනිදා රාත්‍රී 10.45ට පමණ මෙම ද්විත්ව මිනිස් ඝාතනය සිදුවී ඇත.

සිද්ධියෙන් මරුමුවට පත්වී ඇත්තේ එකම පවුලක අයියා සහ නැගණිය වූ නවගත්තේගම – මුල්ලේගම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අනුෂා කුමුදුනී (අවු:25) සහ දිසානායක මුදියන්සේලාගේ අනුර සම්පත් (අවු:32) යන දෙදෙනාය.

මිය ගොස් ඇති කාන්තාව විවාහ වී සිට ඇත්තේ පෞද්ගලික ආයතනයක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටි අයකු සමගය. එම විවාහයෙන් ඔවුන්ට වයස අවුරුදු 05ක දරුවකු ද සිටින බව අනාවරණය වී ඇත. එම අඹු – සැමියන් අතර නිතර පවුල් ආරවුල් තිබී ඇත. එම පවුල් ආරවුල් හේතුවෙන් ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක් වෙන්ව ජීවත් වී ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස වෙන්ව ජීවත් වූ මිය ගිය කාන්තාවගේ සැමියා 30 වැනිදා රාත්‍රියේ තම නිවසේ වහලයේ සිටිනවා දැක ඇති මිය ගොස් ඇති එම කාන්තාව කෑ ගසා ඒ බව ආසන්න නිවසේ පදිංචිව සිටින සහෝදරයාට පවසා ඇත. එම ශබ්දය ඇසී සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පැමිණ ඇත.

එම අවස්ථාවේදී මිය ගොස් ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා බව කියන අය බිරිඳ සහ ඇයගේ සහෝදරයා සමග ගැටුමක් ඇති කරගෙන ඇත. අනතුරුව සඟවා ගෙන සිටි පිහියකින් බිරිඳට සහ ඇයගේ සහෝදරයාට ප්‍රහාරයක් එල්ල කර ඇති බව දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිහි ඇනුම් හේතුවෙන් දරුණු ලෙස තුවාල ලබා සිටි අනුර සම්පත් යන අය ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත. පිහි ඇනුම් කෑමට ලක්ව ඇති අනුෂා කුමුදුනී යන අය තම නිවසේදීම මිය ගොස් ඇත.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු ද පිහියෙන් තම ගෙල කපාගැනීම නිසා කැපුම් තුවාල සහිතව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ, මහවැව අමරනන්ද
 

advertistmentadvertistment
advertistmentadvertistment