බිරිය සමග නැටුවා යැයි සැමියා තරුණයාගේ ගෙල කපා මරයි

932

සංගීත ප්‍රසංගයකදී තරුණයකුගේ ගෙල කපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව ද සඳහන් වේ. එම තරුණිය කළුතර ගමගොඩ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයකු සමග නර්තනයේ යෙදී සිට ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

එහිදී උරණ වූ සැකකරු නර්තනයේ යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව ද සදහන් වේ.

බරපතළ තුවාල ලබා සිටි තරුණයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිලධාරීන් විසින් ද පරීක්ෂණ සිදුකරන ලදී.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන, ඒ සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධයක් ද සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment